ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඊයේ සිට අතුරුදහන්

Spread the love

ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඊයේ සවස සිට අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු මහතා සහ එම ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සාමාජික කුගන් මුරුගන් මහතාය.

ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී අද දින( 10) යාපනය නගරයේදී පැවැත්වීමට නියමිත ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමේ කටයුතුවල නිරතව සිට ඇත.

ඊයේ ( 9) සවස 5.00ට පමණ ඔවුන් දෙදෙනා NP GT 7852 දරන යතුරු පැදියෙන් අවරන්ගාල් හි පිහිටි කුගන් මුරුගන්සන් මහතාගේ නිවසින් නික්ම ගොස් ඇති අතර ඉන් අනතුරුව තවමත් කිසිදු තොරතුරක් නොමැත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ලිඛිතව දැනුවත් කර තිබේ.

අජිත් කුමාර මන්ත්‍රීවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ පිටපත් මාධ්‍යයටද නිකුත් කොට ඇති අතර එහි මෙසේ සදහන්වේ:

” ලලිත් කුමාර් මහතාට පසුගිය කාල සීමාව තුළ අවස්ථා ගණනාවකදී යාපනය ප‍්‍රදේශයේදී ප‍්‍රහාර එල්ල වූ අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදීම කිසිදු පදනමකින් තොරව අත්අඩංගුවට ගැනීම් හා ප‍්‍රශ්න කිරීම් සිදු කොට තිබිණි.

විශේෂයෙන්ම 2011 මාර්තු මාසයේදී කිලිනොච්චි නගරයේදී ලලිත් කුමාර් මහතා කිලිනොච්චි නගර මධ්‍යයේ ඇති හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ප‍්‍රශ්න කිරීම සඳහා රැගෙන යන ලද අතර ඔහුව ගරා වැටුණු ගොඩනැගිල්ලක නිල නොවන ලෙස පැය හයක කාලයක් රඳවා තබා ගැනීමට කටයුතු කරන ලදී. එසේම 2010 නොවැම්බර් මාසයේදී ඔහු යාපනය නගරයේදී පහර කෑමටද ලක් විය.

එසේම යාපනය ප‍්‍රදේශය තුළ දේශපාලන කටයුතු සිදු කිරීම වහාම නතර කරන ලෙස හා වහාම යාපනයෙන් පිටවන ලෙස මෙම පැහැර ගැනීම්වලදී හමුදා නිලධාරීන් හා නාඳුනන පුද්ගලයින් විසින්ද තර්ජනය කර තිබිණි.

එම නිසා මෙම අතුරුදහන් වීම අතිශය බරපතළ කාරණයක් වන අතරම සංවිධානාත්මක ලෙස සිදු කරන ලද්දක්දැයි සාධාරණ සැකයක් පැන නගී.

විශේෂයෙන්ම පසුගිය කාලය තුළ යුද හමුදා නිලධාරීන් විසින් ඔහුට යාපනය දිස්ත‍්‍රික්කය තුළ දේශපාලන කටයුතු නතර කරන ලෙස අවස්ථා කිහිපයකදී අනතුරු අඟවා තිබීම කිසිසේත්ම සුළුකොට තැකිය හැකි නොවේ.

එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන ශ‍්‍රී ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක දේශපාලනය කිරීමේ අයිතිය සියලූ දෙනාටම ඇති බැවින් මේ අයුරින් තර්ජනය කිරීම් මගින් හා පැහැර ගැනීම් මගින් එය උල්ලංඝනය වන්නේ නම් එය බරපතළ ගැටළුවක් බව නොකිව මනා ය.

එම නිසා, මෙම තත්වය පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කොට අතුරුදහන් වී ඇති එම සහෝදරවරුන් සොයා දීමට මැදිහත් වන මෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ”

RSL

Related Posts