කොටකදෙනියේ ඝාතකයින්ටත් නමට මරණ දඬුවම

Spread the love

2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(15) මරණීය දණ්ඩනය නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව මෙම නඩුවේ දී කිසිදු ඇසින් දුටු සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවූ බවයි.

එහෙත් පරිවේශනීය සාක්ෂි උපයෝගී කරගනිමින් මෙම නඩුවට අදාළව චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල කටයුතු කර ඇති බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

මෙම නඩුවේ විත්තිකරු විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශ මත මෙම ඝාතන සිදු කිරීම සඳහා උපයෝගී කර ගත් පිහිය සහ මියගිය නයනා නිල්මිණි නමැත්තියගේ කරාබු ජෝඩුව විත්තිකරුගේ නිවසේ තිබී සොයාගෙන තිබු බවද විනිසුරුවරයා තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

මෙම කාන්තාවන් දෙදෙනාම ඝාතනය කර තිබෙන්නේ ඔවුන්ගේ නිවස තුළ බවත් සඳහන් කළ විනිසුරුවරයා ඝාතනය සඳහා උපයෝගී කරගත් පිහියේ මිට ප්‍රදේශයේ තිබී හඳුනාගත් දුඹුරු පැහැති පැල්ලම මියගිය නයනා නිල්මිණි නමැත්තියගේ සිරුරේ තිබූ ජීවමය ද්‍රව්‍ය බවට ඩී.එන්.ඒ පරීක්ෂණ තුළින් සනාථ වූ බව ද සඳහන් කළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කර තිබූ සාක්ෂිවලට අනුව මියගිය කාන්තාවන්ගේ ශරීරයේ තිබූ පිහි ඇඳුම් තුවාල මරණීය තුවාල බවත් ඒවා ඉතා අමානුෂික ආකාරයකින් සිදු කර තිබූ බවත් ප්‍රකාශ කර සිටි විනිසුරුවරයා එම තුවාල මරණීය චේතනාවකින් යුතුව විත්තිකරු විසින් සිදුකර ඇති බව මනාව තහවුරු වන බව ද සඳහන් කළේය.

ඒ අනුව පිටු දෙසීය විසි එකකින් යුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.

මෙහිදී විනිසුරුවරයා මරණීය දණ්ඩනය ප්‍රකාශ නොකිරීමට හේතු තිබේ නම් දැනුම් දෙන ලෙස විත්තිකරුට දන්වා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් විත්තිකරු විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කර සිටියේ තමන් මෙම මරණ වලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් මෙය සී.අයි.ඩිය විසින් ගොතන ලද නඩුවක් බවයි.

ඉන් අනතුරුව විත්තිකරුට එරෙහිව විනිසුරුවරයා විසින් මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කරන ලදී.

2012 වසරේ ජනවාරි මස 31 වනදා රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ පිහිටි පන්සල පාරේ දී නයනා නිල්මිණි (අවුරුදු 52)සහ ඇයගේ දියණිය වන කාවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (අවුරුදු 17 ) යන අය මරා දැමීම සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මෙම නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම්කර තිබූ මරණිය දණ්ඩනය ලැබූ විත්තිකරුගේ බිරිඳ වූ අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා මීට පෙර නියෝග කර තිබුණා.

RSL

Related Posts