එන්නත්කරණය හමුදාකරණය කිරීම: GMOA යළිත් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් යවයි

Spread the love

ලෝකයේ කීර්තිමත් පිළිගැනිමක් සහිත අපගේ සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින්, ජනතාව අපසහුතාවයට හා අවදානමට පත් කරන ක‍්‍රියාවලිය පිළිබඳව තම සංගමය බලවත් අප්‍රසාදය පල කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනාවකට අනුව අතිගරු ජනාධිපතිතුමන් එන්නත්කරණ ක‍්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ ක‍්‍රියාවලියට සමගාමිව රෝහල් පද්ධතිය අනුබද්ධ කිරීම අනුමත කරන ලදි. එමගින් දෛනිකව එන්නත් මාත‍්‍රා ලක්ෂ 5ක සීමාව ඉක්මවා ලබා දිය හැකි බව ක‍්‍රියාවෙන් අප සනාථ කර ඇත.

සෞඛ්‍ය අංශයෙන් ක‍්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණවත් ලෙස නිකුත් කිරීම වසංගත රෝග විද්‍යා අංශය වෙත පැවරෙන වගකීමකි. නමුත් වසංගත රෝග විද්‍යා අංශය මගින් රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත‍්‍රා සුලු ප‍්‍රමාණයක් ලබා දීම සිදු කරයි. එමගින් සෞඛ්‍ය අංශයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වල අධික තදබදයක් ඇති වී ඇත. එසේ වෙන් කරනු ලැබු එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණවත් නොවීම මත එන්නත නොලබා එම මධ්‍යස්ථාන වලින් පිටව යෑමට සිදු වන මහජනතාවගේ දෝෂාරෝපණයද සෞඛ්‍ය අංශය මත පැටවී ඇත.

නමුත් හමුදාව වෙත වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා කිසිදු හිගතාවයකින් තොරව අඛණ්ඩව එන්නත් මාත‍්‍රා නිකුත් කිරීම සිදු කරයි. එමෙන්ම ෆයසිර් එන්නත් මාත‍්‍රා හමුදාව මගින් පමණක් ලබා දීමටද, විද්‍යාත්මකව සැකසු එන්නත්කරණ ක‍්‍රමවේදයෙන් පරිබාහිරව Vaccine Strategy තෝරා ගත් ප‍්‍රදේශ වල විවිධ වයස් කාණ්ඩ වලට (වයස අවුරුදු 20 – 30) එන්නත් ලබා දීමටද කටයුතු කරන බවක් පෙනි ගොස් ඇත.

මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව දක්නට ලැබේ. මීට ප‍්‍රධානතම හේතුව වන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් නිකුත් කිරීම සම්බන්ධ කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා වෙත දක්වන අසාමාන්‍ය ලැදියාවත්, විද්‍යාත්මක නොවන අක‍්‍රමවත් තීරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා සිදු කරන බලපෑම බවත් පෙනි යයි.

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යතුමන්ද දැනුවත් කරන ලදි.

ලෝකයේ කීර්තිමත් පිළිගැනිමක් සහිත අපගේ සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින්, ජනතාව අපසහුතාවයට හා අවදානමට පත් කරන මේ ක‍්‍රියාවලිය පිළිබඳව අපගේ බලවත් අප‍්‍රසාදය පල කර සිටිමු.

Related Posts