එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කිරීම 31ට පෙර – එජාපය

Spread the love

එක්සත් ජාතික පක්‍ෂයේ 2012 වසර සඳහා වන නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදු කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බව වාර්තා වේ.

එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැණුම්දීම ඉදිරි දින 10 ඇතුළතදී පක්‍ෂ නායක වික‍්‍රමසිංහ මහතා විසින් සිදුකරන බවද පැවසූ බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පොදු එකඟතාවයෙන් එම නිලධාරීන් පත්කර ගැනීමට නොහැකි වුවහොත් එජාප ව්‍යවස්ථාවේ 8.1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් එය සිදු කරන බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා නිලධාරීන් පත්කිරීම හා මහ සමුළුවක් සඳහා දින නියම කර ගැනීම සිදු කිරීමට නියමිත බවද කීය.

නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා තරඟ කරන බවට මේවන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දී ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අත්තනායක මහතා පැවසුවේ ජයසූරිය මහතා හෝ වෙනත් කිසිවෙකු අදාල නිලතල සඳහා තරඟ වදින බවට මෙතෙක් නිල දැනුම් දීමක් කර නොමැති බවයි.

ජයසූරිය මහතා මේවන විට යොමු කර ඇති ලිපිය නිල මට්ටමේ එකක්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී මහලේකම්වරයා කියා සිටියේ තනතුරු සඳහා පුරප්පාඩු පිරවීමේ නිවේදනය කෘත්‍යාධිකාරී මණ්ඩලය නිවේදනය කිරීමට පෙර තනතුරු සඳහා අයැදුම්පත් භාරගත නොහැකි බවයි.

RSL

Related Posts