ආරක්ෂාවට කරන වියදම් සියල්ල ආයෝජනයක් – බැසිල් රාජපක්ෂ

Spread the love

ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස සලකන බවත් ආරක්ෂක වියදම් කපන්න කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අය මිස වෙන කෙනෙකුට එසේ කිව නොහැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මේ රටට සංචාරකයින් පැමිණීමට ප්‍රධානතම හේතුව මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, දේපොළවල ආරක්ෂාව, පමණක් නොව සංචාරකයින්ට ලබාදුන් ආරක්ෂාවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(30) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවනවර කියැවීමේ විවාදයේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අවසාන කතාව පවත්වමිනි.

පසුගිය නොවැම්බර් 24 දින ලංකා ඉතිහාසයේ වැඩි ම සංචාරකයින් ප්‍රමාණය වාර්තා කළා. හත් ලක්ෂ පනස්දහසක් සංචාරකයින්. 2010 වසරේ දී 6,54,000යි.

ඒ නිසා ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස හැඳින්විය හැකියි. ආරක්ෂක වියදම් කපා දමන්නැයි කෙනෙකු කියනවා නම්, ඔහු ත්‍රස්තවාදයට උදව් කරන අයෙක්. ආරක්ෂක වියදම් මේ රටේ සංවර්ධනයට, ජනතාවගේ ආරක්ෂාවට ජනතාවගේ සුබසිද්ධියට අවශ්‍යයි.

මේ රටේ උද්ධමනය, පොලී අනුපාතය, දිළිඳුකම, රැකියා හිඟය අඩුවෙලා. කිසියම් සැලැස්මකට රට ගෙනයාමේ මහින්ද චින්තන වැඩපිළිවෙළ දියත්කළා.

ශ්‍රී ලංකාව හැර ආහාර අර්බුදයට මුළු ලෝකයම මුහුණ දුන්නා. එක අතකින් බෙදුම්වාදී ත්‍රස්තවාදය නැති කරන්නට කටයුතු කරලා, එය ආයුධයක් කරගෙන රටේ සුබසාධනය, සංවර්ධනය, අඩපණ කරන්නේ නැති ව සැලැස්මක් අනුව රට ඉදිරියට ගෙනයන මහින්ද චින්තන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

ලෝකයට වෙනත් අර්බුද රාශියකට මුහුණ දෙන්නට සිදු වුණා. 2009 ආර්ථික අවපාතය, ආහාර අර්බුදයට ලෝකය ම මුහුණ දුන්නා ශ්‍රී ලංකාව හැර. ජනාධිපතිතුමා මේ රටට හඳුන්වා දුන් මහින්ද චින්තනය හරහා නව ශ්‍රී ලංකාවක් කරා 2005 සිට ගමන් කළා. මහින්ද චින්තනය මොන ම රටකටවත් ආදේශ කරන්නට බැහෑ. මොනම න්‍යායකටවත් ආදේශ කරන්නට බෑ.

මෙය මේ රටේ ජනතාවගේ චින්තනය, හැඟුම්, මේ රටට ආවේණික වූ ජාතික චින්තනයක්. අපි දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළා. දේශීය හා විදේශීය ආයෝජන තුළ විශ්වාසය නිසා දෛනික පිරිවැටුම ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ආයෝජනය වැඩි කළා. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 2010 දී රුපියල් මිලියන 2211යි. අපනයන ඉහළ ගොස් තිබෙනවා. 2005 -2010 කාලයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 7396යි. එය ලබාගත්තේ ජීඑස්පී+ සහනය නැතිවුණාට පස්සෙයි.

උද්ධමනය සියයට 11 % සිට සියයට 5.9% දක්වා අඩු වුණා. විරැකියාව 7.2% සිට 4.9% අට අඩු වුණා. දරිද්‍රතාව 15% සිට 8.9% දක්වා අඩු වුණා.

රටේ පොලි අනුපාතය අඩු කිරීමට කටයුතු කළා. රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 90.6% සිට 81.9 දක්වා ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කළා. ඒ වාගේ ම අයවැය පරතරය අඩු කරගැනිමටත් කටයුතු කරනවා. එහෙත් එක ම සහනාධාරයක්වත් අඩුකළේ නෑ. කැපුවේ නෑ. වැඩිකළා පමණයි.

අද ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ ජනතාවට අධිවේගී මර්ගයක් හිමි වී තිබෙනවා. පසුගිය කාලය තුළ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ කි.මීටර් 3753ක් සංවර්ධනය කර තිබෙනවා.

පළාත් සභා මාර්ග කි.මීටර 807.1ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පළාත් මාර්ග කි.මීටර් 3958ක් සංවර්ධනය කර තිබෙනවා. ග්‍රාමීය මාර්ග ගමනැගුම හරහා කි.මීටර් 12360ක් හා මග නැඟුමෙන් කි.මීටර් 8779ක් සංවර්ධනය කර තිබෙනවා.

අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කර තිබෙනවා. ජල පරිහරණයට විශාල ජල ව්‍යාපෘති ඇතිකර තිබෙනවා.අලුත් සබඳතා සමඟින් ග්‍රාමීය ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා.

වසර 2012 වනවිට සැමට විදුලිය ලබාදෙන්නට කටයුතු කරනවා. සෞඛ්‍ය ක්ෂෙත්‍රයට විශාල ප්‍රමාණයෙන් සහන ලබා දී තිබේ. මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ගෙවතු ලක්ෂ 25ක් යෝජනා කර ඇත. ආහාර සුරක්ෂිතතාව රටට පමණක් නො ව සෑම පුද්ගලයකුගේ ම ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම රජයේ අරමුණයි.

වස විස නැති ආහාර සමඟ නිරෝගිමත් ජනතාවක් ඇති කිරීම දිවිනැගුම තුළින් කටයුතු කරනවා. මෙවර අයවැය මඟින් සති පොළ දියුණු කිරීමට මුදල් ලබාදී ඇත. ඒ වාගේම ස්වයං රැකියා සඳහා විශාල මුදලක් යොදවා තිබෙනවා. උතුරු නැඟෙනහිර සංවර්ධනයට විශාල මුදලක් මෙවර අයවැයෙන්ද වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

RSL

Related Posts