ආනයනය කරන දෙයින් නොව අප සතු සම්ප්‍රදායන් තුලින් අභියෝග ජය ගනිමු – ජනපති

Spread the love

අප ජාතීන්ට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් ජය ගැනීම සඳහා අපට හැකි වූයේ පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ සංස්කෘතික සම්ප‍්‍රදායන්, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මිස වෙනත් රටවලින් ආනයනය කරන ලද විසඳුම් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනේ අද්දු නගරයේ හිතාදූ සම්මේලන මධ්‍යස්ථානයේ දී 17 වන සාර්ක් කලාපීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව අමතමින් පවසා සිටියේය.

සාර්ක් කලාපයේ අසහාය ශක්තියකින් යුත් මින්ස් සම්පත් ඇති බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, අප ජනතාව සතු සහජ කුසලතාව සහ නිර්මාණශීලීත්වය අපේ ජාතීන්ට ඇති විශාල ම ශක්තිය බවත්, එබැවින් කලාපයේ ජනතාවගේ කුසලතා ඵල ගැන්වීම සඳහා අනුබලයක් ලබා දීම සාර්ක් කලාපයේ රටවල නායකයින්ගේ පරම යුතුකම බවත් අවධාරණය කළේය.

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව අමතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ කථාව

සම්භාවනීය අමුත්තනි,
ගෞරවනීය නියෝජිතවරුනි,

දහහත්වන සාක් සමුළුවට සහභාගීවීම සඳහා මෙම මනරම් අද්දු නගරයට පැමිණීමට අවස්ථාව ලැබීම මට මහත් සතුටකි.  අපට විශිෂ්ට ආගන්තුක සත්කාර කිරීම වෙනුවෙන්  ජනාධිපති නසීඩ් මහතාට හා මාලදිවයින් ජනතාවට මාගේ අවංක ස්තුතිය පුද කරනු කැමැත්තෙමි.

සභාපති නසීඩ් මැතිතුමනි, සාක් සමුළුවේ සභාපතිත්වයට පත්වීම සඳහා ලැබුණු මෙම අවස්ථාව ඔබ රටට අමතක නොවන දිනයකි.  අප සංවිධානය වඩාත් සාර්ථක අරමුණකට මෙහෙයවීමට ඔබ පිය නඟන විට ඒ සඳහා  ඔබට හා මාලදිවයින් ජනතාවට ශී‍්‍ර ලංකා රජයේ සහ ජනතාවගේ නොසැලෙන සහයෝගය හා සුබපැතුම් පිරිනැමීමට මෙය අවස්ථාව කොට ගනිමි.

සම්භාවනීය අමුත්තනි,

ප‍්‍රථමයෙන්ම හිටපු සභාපතිවරයාට මාගේ ගෞරවය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි.  භූතානය සභාපතිත්වය දැරූ කාලය තුළ අගමැති තින්ලේ විසින් සාක් හවුලට විශිෂ්ට නායකත්වයක් ලබා දෙන ලදී. භූතාන රජුගේ සරණ මංගල්‍යයට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනැමීමට ද මෙය  අවස්ථාවක් කොට ගනිමි.

සාර්ක් හවුලේ ප‍්‍රථම කාන්තා මහලේකම්වරිය වූ ෆාතිමා දියානා සයීඩ් මහත්මියට හා ඇයගේ කණ්ඩායමට ඔවුන්ගේ කැපවීම හා කාර්යක්ෂමභාවය වෙනුවෙන් ප‍්‍රශංසා කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම සමුළුවේ දී අත්සන් කරනු ලබන සාක් ගිවිසුම් කි‍්‍රයාවට නැංවීම තුළින්, විශේෂයෙන් ම වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත‍්‍රයන්හි කලාපයේ සහයෝගිතා රාමුව තවදුරටත් ශක්තිමත් වනු ඇත.

සාක් කලාපයට අසහාය ශක්තියකින් යුත් මිනිස් සම්පත් තිබෙන බව අපි කවදත් විශ්වාස කරමු.  අප ජනතාව සතු සහජ කුසලතාව සහ නිර්මාණශීලිත්වය අපේ ජාතීන්ට ඇති විශාල ම ශක්තිය වේ.  එහෙයින් අප කලාපයේ ජනතාවගේ කුසලතා ඵල ගැන්වීම සඳහා අනුබලයක් ලබා දීම සාක් කලාපයේ රටවල නායකයින් වන අපගේ පරම යුතුකමකි.

සමාජීය කි‍්‍රයාකාරී වැඩසටහන්වලට අපි ඇපකැප වී සිටින්නේ සමාජයේ කිසිම කොටසකට දියුණුවීමට ඇති අවස්ථා ගිළිහී යාම වැළැක්වීම සහතික වීමටයි. බොහෝ කාලයක් අත්‍යවශ්‍ය පහසුකම් හිඟ වූ අපගේ ග‍්‍රාමීය පාසල් දියුණු කිරීමට අපගේ කලාපයේ රටවල් ප‍්‍රමුඛත්වයක් දිය යුත්තේ පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දීමටය.

අනාගතයේ අභිමානවත් වැඩදායී පුරවැසියන් ලෙස හිස ඔසවා සිටීමට හා පිරිපුන් දිවියක් ගත කිරීමට අපගේ පාසල් දරුවන්ට හැකියාව ලබාදීමට එය අත්‍යවශ්‍ය වේ.

ශී‍්‍ර ලංකාවේ ජීවත්වන අපි සමාජ චලනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු. අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ නවීන සංනිවේදනය සියලු දෙනාට ම සලසා දිය යුතුය. දේශපාලන වශයෙන් බලවත්වීමේ වාසි පූර්ණ වශයෙන් අපේ ජනතාවට විඳිය හැක්කේ මෙමගින් පමණක් වන බැවින් අපගේ රාජ්‍යයන් අවම වශයෙන් එය වත් ජනතාවට සලසා දිය යුතුය.

නොදැනුවත්කම, ලෙඩරෝග සහ දරිද්‍රතාව අපේ ජාතීන්ගේ පොදු සතුරෝ වෙති.  මේ මොහොතේ දී මෙම උපද්‍රවවලට එරෙහි ව සටන් කිරීමට එළැඹෙන පොදු ප‍්‍රවේශයන් අපගේ රාජ්‍යයන් විසින් මුලපුරන්නා වූ වෑයම්වල මුලට පැමිණිය යුතුය.  සමාජ සමානාත්මතාව ආර්ථික වර්ධනය සමග එක් ව යා යුතුය.

අපේ ජනතාවට එදිනෙදා ජීවිතයේ දී ආර්ථික ප‍්‍රතිලාභවලින් ප‍්‍රයෝජන ලබාගැනීමට අවස්ථාව සලසා  දිය යුතු බව අපගේ දැඩි විශ්වාසය වන අතර මෙය කළ හැක්කේ වඩා හොඳ යටිතල පහසුකම් සලසා දීමෙනි. ආර්ථික සංවර්ධනයෙන් සැලසෙන ප‍්‍රතිලාභ නිරායාසයෙන් බිම් මට්ටමට ගලා නොබසී.  මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා අපේ රජයන්ගේ නිසි මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ.  මේ සියල්ල ඉෂ්ඨසිද්ධ කරගැනීම සඳහා අපේ කලාපය තුළ සාමය සහ ආරක්ෂාව අත්‍යවශ්‍ය වේ.

සාර්ක් කලාපයේ ජනතාවගේ සුබසිද්ධිය සහ සැමට ගැළපෙන නිශ්චිත රාමුවක් තුළ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමට නොහැකි බව අපගේ තවත් විශ්වාසයකි. අපගේ ශිෂ්ඨාචාරයන් විසින් පෝෂණය කර ඇති අගයන් අපට ඇති හා අප අගය කරන්නා වූ උරුමයන්හි අත්‍යාවශ්‍ය කොටසක් පිළිඹිබු කරයි.  අපේ මුතුන්මිත්තන්ගේ ජයග‍්‍රහණයන් හා විශ්වාසයන් පිළිබඳ ව අපට සාධාරණ අභිමානයක් ඇති බැවින්, මේ සම්බන්ධයෙන් අපි කිසිවෙකුට යටත් නොවෙමු.

ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය හෝ ත‍්‍රස්තවාදයේ ඵල විපාකවලින් අපේ සමාජයන් ආරක්ෂා කරගැනීම සාක් කලාපයේ රටවලට මුහුණ දීමට සිදු වූ දරුණු අභියෝගයන්ය.   කෙසේ වූව ද අප සතු ව තිබූ දැනුම් සහ අත්දැකීම් සම්භාරය උපයෝගී කර ගෙන එම අභියෝගයන්ට මුහුණ දීමට අපට ශක්තිය ලැබී ඇත.

අප ජාතීන්ට මුහුණ දීමට සිදු වු අභියෝගයන් ජය ගැනීම සඳහා අපට උදව් වුයේ පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ සංස්කෘතික සම්ප‍්‍රදායන්, අපේක්ෂාවන් හා  විශ්වාසයන් මිස වෙනත් රටවලින් ආනයනය කරන ලද විසඳුම් නො වේ.  පාරිසරික සමතුලිතතාව සඳහා අප ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ දේශීය වශයෙන් ලබාගත් විසඳුම්ය. මේ ස්වදේශීය විසඳුම්වල අගය පවතින්නේ තිරසාරත්වය මතය.

සාක් කලාපයේ රාජ්‍යයන් සංවර්ධනය සඳහා අනුගමනය කරන තවත් පොදු ලක්ෂණයක් ඇත.  එනම්  අප කිසි කලෙක මුදලින් හෝ මුදල් වටිනාකමින් පමණක්  සංවර්ධනය තක්සේරු කිරීම ප‍්‍රතික්ෂේප කළෙමු.  අප නියෝජනය කරන ජනතාව සඳහා සංවර්ධනයට මෙයට වඩා අගනා මිනුම් දණ්ඩක් උචිතය. අපගේ ආගමික කර්තෘවරුන් විසින් අප තුළ ජනිත කළ අභ්‍යන්තර සිත් සැනසිල්ල, තෘප්තිමත් බව හා සෑහීමකට පත්වීම අපේ සංවර්ධන දර්ශනයේ හරයයි.

ගැඹුරු අධ්‍යාත්මික විශ්වාසයන් අපේ ජීවිතවල ප‍්‍රධාන කොටසකි.  අප ජීවත් වන අර්බූදකාරී ලෝකයේ මෙම දර්ශනයට වඩා උචිත වූ ද, අවශ්‍ය වූ ද වෙනත් දර්ශනයක් නොමැති බව අප හොඳින් සැලකිල්ලට ගත යුතුය.

අපගේ සංවිධානයේ පොදු ශක්තිය උකහා ගෙන අපේ ජනතාවට ඔවුන්ට ලැබිය යුතු කැපවීමෙන් සේවය කිරීමට සාක් නායකයින් ලෙස අප ව පෙළඹවීමේ තෝතැන්න වන්නේ මෙම කරුණුය.  අප අවට දක්නට ඇත්තේ ක්ෂණික ඉල්ලීම් හා බොහෝ විට නොඉවසිලිභාවයන්ය. මෙය එසේ වන්නේ අපේ සමාජයන්හී විශාලතම හා බලපෑමක් කළ හැකි කොටසක් වන්නේ නව අදහස්වලින් පිරි ඔවුන් සඳහා ම වූ දීප්තිමත් අනාගතයක් බලාපොරොත්තුවෙන් සිටින තරුණ කොටස් බැවිනි. ඔවුන්ට බොහෝ කල් බලා සිටීමට කාලය ගත කිරීමට නොහැකිය. ඉවසීමට සීමාවක් ඇත.

අපේ සැලකිල්ලට භාජනය විය යුතු කරුණු අතර විශේෂයෙන් සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාස යන කරුණුවලට කළ යුත්තේ තවදුරටත් සාකච්ඡා කිරීම නො ව වහාම කටයුතු කිරීමයි.  අපේ මේ අද්දු නගරයේ පවත්වන සමුළුවේ තේමාව අන්‍යෝන්‍ය සබඳතා වැඩිදියුණු කර ගැනීමයි. අපගේ කලාපය තුළ සීග්‍රයෙන් වර්ධනය වන සබඳතා තුළින් අපගේ ජාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉහළ මට්ටමේ සාර්ථකත්වයක් ළඟාකර ගැනීමේ අපට ඇති හැකියාවේ යථාර්ථය මෙයින් උද්දීපනය කරයි.  අපගේ ජනතාවගේ අභිමථාර්ථයට අනුව ඔවුන්ට නිසි සේවය පුද කිරීමට අවශ්‍ය කැපවීම හා දෘෂ්ටිය අප සියල්ල තුළ ඇති බව විශ්වාසය.

එහෙයින් අපගේ ජනතාවන්ට සේවය සැලසීමට සාක් සංවිධානය සැබවින් ම ශක්තිමත් මෙවලමක් කරගැනීමට අපට ඇති කැපවීම සාමූහික ව ශක්තිමත් කරගනිමු.

ධම්ම පදයෙන් ප‍්‍රකාශිත වූ බුදු වදන මෙහිදී සිහියට නඟා ගනිමු.  ‘අත්තාහි අත්ත නො නාතෝ කෝ හි තෝ පරෝසියා‘.  තමාගේ පිහිටට ඇත්තේ තමා ම ය.  වෙනත් කෙනෙකුට කළ හැකි වන්නේ කුමක්ද? යනු ඒ බුදු වදනයි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

Loading...

RSL

Related Posts