අප දැන් ලොව ශක්තිමත්ම රාජ්‍ය ගොඩනගමින් සිටිනවා – ජනපති

Spread the love

ඊයේ (08 සැප්.) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තිස් හත් වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මවුබිමට සාමයේ, නිදහසේ හා සංවර්ධනයේ ජයග්‍රහණ රැගෙන ආ අයුරින්ම ක්‍රීඩාවෙනුත් ජයග්‍රහණ රැගෙන ආ යුතු බවයි.
ක්‍රීඩාවේ ජයග්‍රහණ වෙනුවෙන් සදාචාර විරෝධී ක්‍රියාවල නිරත නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික හා වෙළෙඳ වාසි වෙනුවෙන් ක්‍රීඩාව පාවා නොදෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

ජයග්‍රහණය වෙනුවෙන් දරුවන් වැරැදි මාර්ගයේ යවා ඒ දරුවන්ගේ ජවය මවුබිමට අහිමි නොකරන ලෙස සියලු පුහුණුකරුවන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා එසේ කිරීමෙන් අපහාසය වන්නේ දරුවාට පමණක් නොව මුළු මහත් රටටම බවත් පැවැසීය.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කර ජාතික නිදහස දිනා ගත් අප දැන් ලොව ශක්තිමත්ම රාජ්‍ය ගොඩනගමින් සිටින බව සිහිපත් කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවෙනුත් විශාල ජයග්‍රහණ ලැබිය හැකි පරිසරයක් ගොඩනැගීමත් අපගේ වගකීම බව පැවැසීය.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද අදහස් දැක්වීය. ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

RSL

Related Posts