සඳ මඬල සහ හද මඬල අතර යන යෙදුම් දෙක අතර බස් වහර අනුව ඇත්තේ සියුම් වෙනසකි. හද මඬල අයත් වන්නේ මිහිමත දිවි ගෙවන මිනිසුන්ට ය. එහෙත් ආකාශයේ පායන සඳ මඬලට හිමිකරුවෙක් නැත.
එය අපට ඉහළින් සිට මුළු සත්ව වර්ගයාටම ආලෝකය සපයයි. ආකාශය පුරා දිදුලන සඳ අතිශය සියුමැලි වස්තුවක් ලෙස අතීත මිනිසා සැලකූ අතර, එය ඝන වස්තුවක් බව ගැලීලියෝ විසින් සොයා ගන්නා ලදී. ඉන්පසු බොහෝ විද්‍යාඥයෝ එහි දිග පළල, පැවැත්ම, සෙසු ග්‍රහ තාරකාදියට එහි ඇති බලපෑම ආදී නොයෙක් දේ සෙවූහ. අතීත ඍෂිවරුන්ගේ සොයා ගැනීමක් වන ඡ්‍යොතිෂ විද්‍යාවේ සලකා බලන ලද්දේ සඳු ඇතුළු ග්‍රහයන් ලෝකයේ ජීවීන්ගේ යහපත සහ අයහපත සිදුවීමට බලපාන ආකාරය පිළිබඳව යි. කවියන් කලාකරුවන් සඳ එළිය සොඳුරු ජීවිතයක ආස්වාදය විඳ ගැනීමට හැකි වස්තුවක් ලෙස සලකා කවි සිතිවිලි පහළ කළහ. සැබැවින් ග්‍රහ ලෝකයක් වන සඳ නම් වූ අපූරු වස්තුව පිළිබඳ ව මෙසේ සිතිය යුතු දේ බොහෝ දේ ඇත. මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු වදනින් ඔද ගන්වන ලද ශ්‍රී ලාංකිකයා මෙකී සඳ දෙස බැලූයේ ඉහත කී කවර ආකාරයකටත් වඩා එය අධ්‍යාත්මයට බලපාන ආකාරය අනුව වීම විශේෂයකි.
සඳ උදාවන සෑම රැයක් ම පහන් සිතිවිලි උපදවා ගැනීමේ කමටහනක් ලෙස ලක්වැසියෝ සිතූහ. ඒ අනුව ඔවුහු දොළොස් මහේ නැඟෙන පුන් සඳට ආගමික සංසිද්ධියකින් අරුතක් එකතු කළහ. දුරුතු මස පුන් සඳ නැගෙන දා වූ කලී බුදුරදුන් ලක්දිවට පළමුවර වැඩිදා ය. බුදුරදුන් විසින් දෑගසව්වන් වහන්සේලාට තනතුරු ප්‍රදානය කරන ලද්දේ නවම් පුර පෝදා ය. උන්වහන්සේ තම ඥාතීන් වෙසෙන කිඹුල්වතට වැඩම කළ දිනය වන්නේ මැදින් පුන් පොහෝදා ය. බක් පුන් පොහෝ දා බුදුරදුන් ලක්දිවට දෙවන වර වැඩම කළහ. වෙසක් පුර පසළොස්වක දා බුදුරදුන්ගේ, ඉපදීම බුදුවීම හා පිරිනිවීම යන තෙමඟුල සිදුවිය. තථාගත ධර්මය රැගෙන අරහත් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළේ පොසොන් පොහෝ සඳ උදා වූ දිනයේ දී ය. ඇසළ පෝදා පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සුතුර දෙසූ දිනය වන අතර, එය ලක්දිවට දන්ත ධාතූන් වහන්සේ රැගෙන ආ දිනය ද වේ. නිකිණි සඳෙන් සනිටුහන් වන්නේ භික්ෂූන් වහන්සේ ලා වස් සමාදන් වන දිනය යි. බිනර මස පුන් පෙහොය භික්ෂුණී ශාසනය පිහිටවූ දිනය වන අතර, බුදුන් වහන්සේ තව්තිසාවට වැඩම කොට අභිධර්ම දේශනාව පැවැත්වීමත්, වස් කාලය නිමාවීමත් නිසා වප් මස පුන් පොහෝදා වැදගත් වේ. අනතුරුව උදාවන ඉල් මාසයේ පසළොස්වක දා පළමු ශ්‍රාවකයන් හැට නම ධර්ම දූත සේවයෙහි යෙදවූ දිනය ලෙසත්, වසරේ අවසාන මාසය වන උඳුවප් මාසයේ පුන් පොහෝ දිනය සඟමිත් තෙරණිය ජය ශ්‍රී මහාබෝධිය වැඩම කරවූ දිනය ලෙසත් ඇගයුමට ලක්වේ.
මෙසේ බලන විට සෑම මාසයක ම පුර සඳ උදාවී ඇත්තේ මෙම භූමියේ වන තඩාගයන්හි ගස්, වැල්, ගිරි, හෙල් ආදියට නොව ලක්වැසියන්ගේ හදවතට ය. ඔවුන්ගේ වසරක කැලැන්ඩරය ආරම්භ වන්නේ ද ජනවාරි මාසයෙන් නොව වෙසක් මාසයෙනි. එසේම පැරැන්නන් මාස ගණන් කළේ ද සඳ එකයි, සඳ දෙකයි, සඳ තුනයි යනාදී ක්‍රමයෙන් සඳ මුල් කරගෙන ය. අනුබුදු මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙන ලද සඳ මුල්කොට ගත් පොහොය ක්‍රමය මෙසේ මෙරට මිනිසාගේ ජීවන රටාවට මනෝවිද්‍යාත්මක පදනමක් එක් කළ බව කිව යුතු ය. වෙසක් දිනය මෙයින් ප්‍රධාන වන බව ද මෙහිලා කිව යුතු ය.
ඈත අතීතයේ සිටම වෙසක් දිනයේ දී ලක් බිමට පතිත වූ සඳ සුවිශේෂී වූ බව අපි දනිමු. මිනිසුන් හා සතා සිවුපාවා පමණක් නොව, ගහ කොළ, ඇළ, දොළ, ගංගා, ගිරි හෙල්, කඳු ශිඛරවලට පවා දැනුණු සැනසිල්ලක් හා සොම්නසක් එහි විය. අප කාටත් වඩා සොබා දහම එය මැනවින් දනී. අතීතයේ සිට අත්දැකීමක් ලෙස එහි ප්‍රතිඵල සචේතනික අචේතනික සියල්ලන් මෙම සැනසිල්ලේ සුවය භුක්ති විඳී හෙයින් කිසිවෙකුත් එයට අභියෝග නො කරති. රට පාලනය කළ අතීත රජ දරුවෝ ද මෙය මැනවින් දැන සිටියහ. එහෙයින්ම ඔවුහු වෙසක් පෝදා සාදරයෙන් පිළිගත්තේ එය සිය රටවැසියාගේ යහපත සඳහා වසරක් තුළ දී හමුවන උදාරතම දිනය වන නිසා ය. හෙළ දෙරණෙහි ප්‍රතාපවත්ම නිරිඳා ලෙස සනිටුහන් වන දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව සූවිස්සක් පැවැත්වූ බව ඉතිහාසයෙහි සටහන් වී තිබීම ම ඊට නිදසුනකි. මෙකල වුවද රජය වෙසක් දිනය සැමරීමට එක්සිත්ව බැඳී ඇත්තේ මෙම විශ්වීය ධර්මතාව හඳුනාගෙන ඇති නිසා ය.
ශ්‍රී ලංකාවට වෙසක් පොහෝ දා සුවිශේෂී දිනයකි. එය හුදු දිනයකින් අවසන් නොවේ. වෙසක් සතිය ලෙස නම් කෙරෙන එය දින සතක් පුරා සැමරේ. මෙම කාල සීමාව ලක්දිව වැසියනට කවදත් වෙසෙසි ය. ඔවහු තැන් තැන්හි විවිධ අයුරින් දන්සැල් දෙති. නොයෙක් සුබසාධන වැඩ කරති. සතුන් නො මරති. සොරකම් ඈ පව්කම්වලින් වළකිති. රජය විසින්ම මත්පැන් හල්, ගව ඝාතනාගාර ආදිය වසා දමනු ලබයි. භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පාසල්, සේවා ස්ථාන, කාර්යාල ආදියෙහි ධර්මදේශනා කරවීම, දන්පැන් පිළිගැන්වීමාදීය මෙන්ම දුගී මගී යාචකාදීන්ට සංග්‍රහ කිරීම් කරති. සුදු ඇඳුමින් සැරසීමත්, පහන් සිතින් කටයුතුවල යෙදීමත් ඔවුනොවුන් හා ප්‍රිය මුසුව විසීමත් මෙකල මොවුන්ගේ චර්යාව තුළ දක්නට ලැබෙන සුලබ දසුනකි. කුඩා දිවයින ගෙයක් ගෙයක් පාසා බුදුන් වහන්සේ උදෙසා දල්වන ලද තෙල් පහනින් හා විදුලි ආලෝකයෙන් විසිතුරුව දක්නා ලැබේ. සුවිසල් තොරණ වටා එක් රැස් වන ජනයා දහම් රසය මෙන්ම දැහැමි විනෝදාස්වාදය ද ලබති. නන්වැදෑරුම් ආමිෂ පූජාවෙන් පමණක් නොව දෙනෝ දාහක් දෙනා බණ භාවනා කිරීමෙන් ප්‍රතිපත්ති පූජාවෙන් ද බුදුන් පුදති.
වෙසක් සඳ මඬල යට ඉපිද බුදුබව පසක් කළ බුදුහු වරක් සිය ශ්‍රී හස්තය ඔසවා සළා අහසේ ගැටීමට රැඳීමට කිසිවක් නැති බව පෙන්වා දුන්හ. අහසේ වොරැඳෙන චන්ද්‍රයා කිසිවක නො ඇලී, නො රැඳී, නොගැටී කඳු හෙල් ගිරි ශිඛර වන දුර්ග ආදියෙහි වෙනසක් හා සීමා මායිම් රහිතව සියල්ලට එකසේ ආලෝකය සපයන බව උන්වහන්සේ වදාළහ. එමෙන් අප විසිනුදු සඳ උවම් කොට ගෙන නො ඇලෙන නො රැඳෙන හා නො ගැටෙන දිවි පෙවෙත සකසා ගතයුතු බව පෙන්වා දුන්හ. සැබැවින්ම මනුෂ්‍යත්වය තේරුම් ගෙන ජීවිත චර්යාවන් ගොඩනඟා ගැනීමට සඳේ හැසිරීමෙන් අපට වැදගත් පාඩම් උගත හැකි ය. එය රජ මැඳුරට මෙන්ම සැඩොලාගේ නිවසටත් එකසේ ආලෝකය සැපයීම ම ගැඹුරු පාඩමකි. ජාති ආගම් ආදී භේද පදනම්කොට පැන නැගෙන විවිධ ගැටුම් සහිත ලෝකයේ සියළු ජනයා මෙකී මනුෂ්‍යත්වයේ දහම තේරුම් ගැනීමට සමත් වන්නේ නම් මිනිසාගේ සැනසිල්ල එයින් ජනිත නොවේ ද?
වසරේ දොළොස් මහේ ගුවන අරා උදාවන පුන් සඳ කිරණින් මිනිස් හදවත් ඔපවත් වූ වග දැන්වත් දැනුවත් විය යුතු ය. වෙසෙසින්ම වෙසක් සඳ නිකැළැල් විශ්ව ශාන්තිය උදෙසා මිනිස් සිත් පොබයා සිටියේ ය. වෙසක් සඳ ලොවට මෙසේ කියයි. මිනිසුන්, දෙවියන්, මරුන්, බඹුන් සිහිත ලෝකයෙහි ලොව්තුරා තථාගතයන් වහන්සේ වැනි කිසිදු ජාතියකට, කුලයකට, ගෝත්‍රයකට හෝ වර්ගයකට අයත් නැති, රුවින්, ගුණින්, නැණින්, තෙදින්, බලයෙන් අසමාන වූ පුරුෂෝත්තමයෙකු බිහි වූයේ වෙසක් සඳ පෑයූ දිනයක ය. එසේම විස්මිත බුද්ධ ඥානය ලැබූයේ එම සඳ මඬලෙන් ලොව ඒකාලෝක වූ දිනක ය. උන්වහන්සේ ලොව අත්හළේ ද එම දිනයේ දී මය. එබැවින් වෙසක් පොහෝ දිනය වූ කලී උත්තරීතර මිනිස් බවේ දිනය යි.
පෙර ලක්වැසි ජනයා බුදුන් වහන්සේගේ ජීවිතයේ අසිරිමත් සිදුවීම් තුනක් සිදුවූ වෙසක් පෝදා පිළිබඳව ගැඹුරු මනසින් හා ඉමහත් භක්තියකින් සිතූහ. එනිසාම ඔවුහු ගුණ පිරුණු හදවතින් එකිනෙකා ගැන සිතූහ. අනෙක් අතින් එකමුතුව එක්සිත්ව දැහැමි දිවි පෙවෙතින් කල් යැවූහ. අහස් කුස සිඹිනා සෑරදුන් ද මහසයුර මෙන් දිස්වන වැව් ද ඉදිකොට ජීවිත සැනසිල්ල යනු කුමක් දැයි දැන කල් ගෙවූහ. කිසිවෙකුටත් කිසිවකටත් සාප නොකළ, හුදු අධ්‍යාත්මික පාරිශූද්ධියම අරමුණු කොට ජීවත් වූහ. ලක්දිව පෙරදිග ධාන්‍යාගාරයක් වූයෙත් එය ලොවට මුතු ඇටයක් ලෙස දිස් වූයේත් එම නිසා ය. වෙසක් දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ ඔවුහු පෙහෙවස් සමාදන්වීමද එක් විශේෂ අභිප්‍රායක් ලෙස සැලකූයේ වයස් භේදයකින් තොරව ය. පෙහෙවස් සමාදන්වීම යනු හුදු සුදු වතකින් ගත සැරසීම පමණක් නොව, එය බඹසර ජීවිතයක් ගෙවීමේ අරමුණක් ද වේ. කුමර විය බඹසරින් කල් ගෙවූ කුඩා දරුවෝ මැනවින් සිප් සතර හදාළහ. සොළොස් විය වසද්දී පෙහෙවස් විසූ කුමරියෝ යහපත් පතිකුලයකට පිවිස සුජාත දරු පරපුරක් බිහි කොට රට දැය සමයට වැඩ වැඩූහ. වැඩිහිටියෝ නැණ නුවණින් යුතුව කල් යවමින් තුරුණු පරපුරට අරුත්බර දිවි පෙවතකට මඟ කියා දුන්හ.
එබැවින් වෙසක් සඳ කිරණ හද මඬලට පතිතවීමෙන් ඇතිවන ශක්තිය අත නො හරින්න. හෘදය සාක්ෂියට එකඟ වී මේ මොහොතේ ඔබගේ ජීවිතය පවතින තැන පරීක්ෂා කරන්න. කරුණාව, මෛත්‍රීය, දයාව, අනුකම්පාව සියලු මිනිසුන් වෙත සීමා මායිම් රහිතව බෙදා හරින්න. බුද්ධත්වය පසක් කිරීමෙන් ලොවට පහදා දුන් බුද්ධියේ ප්‍රභාව හදවතට යාකොට යුක්තිය ධර්මය වැරැදි නිවැරැදි දේ විනිවිද දකින්න. ඔබගේ හදවත සඳක් මෙන් කර ගත හැකිනම් අවිද්‍යා අන්ධකාරය ඔබගේ ජීවිතයෙන් පළායයි. දෙතිස් කුණපයකින් සැදුම් ලත් පඤ්චස්කන්ධයේ නිසරු බව ඇත්තකි. එහෙත් ගුණයෙන් පිරුණු අධ්‍යාත්මයෙන් යුක්ත වූ ජීවිතය නිසරු නැත. මරණය ගැන සිතීමට පෙර ජීවිතය ගැන සිතා අරුත් බර ලෙස ජීවත්වීමේ කලාව තේරුම් ගන්න. පුන් සඳේ ආලෝකය මෙන් ජීවිතය මිනිසත් බවේ එළියෙන් ඔපවත් කරන්න.
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය,
කැලණිය දළුගම්ගොඩ ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ,
මකුරුප්පේ ධම්මානන්ද හිමි