දුම්රිය වර්ජනය දිගටම! ජනතාව දැඩි අසීරුතාවයක..

Spread the love

වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට රජයට බල කරමින් දුම්රිය වෘත්තීය සමිති විසින් අරඹා තිබෙන අඛණ්‌ඩ දුම්රිය වර්ජනය නිසා මගීහු දහස්‌ ගණනක්‌ ඊයේත් (09) දැඩි අපහසුතාවට පත් වූහ.

කාර්යාල සේවකයන් මෙන්ම අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද මේ හේතුවෙන් දැඩි පීඩාවට පත් වූහ.

පෙර දැනුම් දීමකින් තොරව පෙරේදා (08) සවස තුනට හදිසියේ දුම්රිය වැඩ වර්ජනය දියත් කළ නිසා අසරණ වූ මගීන් කිහිපදෙනෙක්‌ කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ නවතා ඇති දුම්රියකට වී රැය පහන් වනතුරු නිදා සිටි අතර ඉන් එක්‌ මගියකුට දුම්රිය නිලධාරියකු විසින් පහර දුන් බවට පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ද කර ඇත.

තමන්ට නිවෙස්‌ බලා යැමට දුම්රිය නොමැති නිසා කුපිත වූ මගීහු පෙරේදා සවස කළහකාරී ලෙස හැසිරෙමින් දුම්රිය ස්‌ථානයට කළ පහරදීම් නිසා රුපියල් ලක්‍ෂ දහයක පමණ දේපළ හානියක්‌ සිදුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

දුම්රිය මගීන් වෙනුවෙන් ඊයේ දිනයේදී හමුදා බස්‌ රථ කිහිපයක්‌ යොදා තිබිණි. දුම්රිය රියෑදුරන් ද වර්ජනයට එක්‌ව සිටින නිසා විශ්‍රාමික රියෑදුරන්ට සේවයට පැමිණෙන ලෙසට ප්‍රවාහන අමාත්‍යාංශය පෙරේදා (08 දා) සවස ආරාධනා කළත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක්‌ නැති බවද ඉහත නිලධාරියා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කළේ දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ඉල්ලීම් කිසිසේත් ඇමැති මණ්‌ඩලය විසින් ප්‍රතික්‍ෂේප කර නැති බවය. එකී ඉල්ලීම් ලබාදීම සඳහා ඇමැති මණ්‌ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ක්‍රියා කරන බවද ඊට යම් කාලයක්‌අ ගත වන බවද ප්‍රකාශ කරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ දිනවල පැවැත්වෙන අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳ සලකා බලා වැඩ වර්ජනය නතර කරන ලෙසට වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව ද සඳහන් කර ඇත.

තම වැටුප් විෂමතා ඉවත් කර ගැනීම සඳහා අඛණ්‌ඩව දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසා සිටී.

ආශ්‍රිත පුවත්: දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති මාසික වැටුප් ලක්ෂ 2ක ඉක්මවයි