T20 පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට

Spread the love

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව නායකයා ලෙස චරිත් අසලංකව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ 14 වැනි විස්සයි-20 නායකයා ලෙසින් චරිත් අසලංක ඉතිහාස ගත වනු ඇත. නිමාවට පත් වුණු එල්.පී.එල්. තරගාවලියේදී ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කරන ලද්දේ අසලංක විය.

අසලංකව නායකත්වයට පත් කිරීමත් සමග එළැඹෙන 27 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමද නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුක්තව නම් කරන ලද මෙම කණ්ඩායමට යළිත් නිමාවට පත්වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා මෙන්ම තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු චමිඳු වික්‍රමසිංහවද එක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙවර තරගාවලියේදී අවිශ්ක පිත්තෙල් කුණු 374 ක්, කුසල් 296 ක් සහ චන්දිමාල් 287 ක් වශයෙන් පිත්තෙන් සාර්ථකත්වක් පෙන්නුම් කළ අතර චමිඳු වික්‍රමසිංහ ලකුණු 186 ක් සහ කඩුලු 7 ක් දවා ගනිමින් තරගාවලියේ නැගි එන ක්‍රීඩකයාට හිමි සම්මානයට හිමිකම් කීහ.

කෙසේ වෙතත් චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු මේ වසර මුලදී බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී තරග 2 කදී ශ්‍රි ලංකා පිල මෙහෙයවා තිබේ. එවකට නායකයා ලෙසින් කටයුතු කරන ලද වනිඳු හසරංගට එරෙහිව පනවන ලද තරග තහනමක් හේතුවෙන් චරිත්ට කණ්ඩායම මෙහෙයවීමේ අවස්තාව හිමිවිය. එම තරග 2 න් එකක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට අසලංක සමත්වූ බැවින් එම තරගාවලියද 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

මොවුන් සිවුදෙනා කණ්ඩායමට පැමිණීමත් සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඇතුළත් කෙරුණු ඇන්ජලෝ මැතිව්ස්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා සහ වමත් වේගපන්දු යවන ඩිල්ෂාන් මදුහංකට ස්ථාන අහිමිව තිබේ.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය  – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ක්‍රිකට්

Related Posts