නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට දෙකඩ කරන්න අපට අවශ්‍ය නෑ
- RSL
- August 22, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මේ රට දෙකඩ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ලැබී ඇති හොඳම අවස්ථාව වන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන කතිකාවත මැයෙන් පසුගිය (19) රත්නපුරයේදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
මෙම යෝජනාවල තිබෙන්නේ දකුණේ මහ ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනා පමණයි. වෙන කිසිවක් නැහැ. ෆෙඩරල් ක්‍රමය ඇතුළු අනෙකුත් අපගේ සියලු යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අපි භාරදී තිබෙනවා. නමුත් අපගේ වාර්තාවේ අවසානය අපි පෙන්වාදී තිබෙන්නේ මූලික වාර්තාවේ සඳහන් කරුණුවලට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකඟ වෙනවා නම් එය පිළිගැනීමට අපිත් සූදානම් කියලා. අපට වෙනම රටක් අවශ්‍ය නැහැ. නොබෙදුණු වෙන් කළ නොහැකි රටක් තුළ විසඳුමක් අපට අවශ්‍යයි.
අපට එක් රටක් තුළ එකට ජීවත් වීමට අවශ්‍යයි. ඒ සඳහා වන ගිවිසුමයි අපි සාදා ගත යුත්තේ. අපට මේ රට කඩන්න අවශ්‍යතාවක් නැහැ. ඒ එකඟතාව මතයි අපිත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වෙන්නේ.
ලංකාවට නිදහස ලැබූ දින පටන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත්ය. මෙම පක්ෂ දෙකෙහි ආණ්ඩු කාලවල යම් පක්ෂයක් යෝජනාවක් ඉදිරිපත් කළහොත් එයට අනෙක් පක්ෂය විරුද්ධ වුණා.
මේ සිදුවීම මාරුවෙන් මාරුවට අඛණ්ඩව සිදුවුණු නිසා මෙරට ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ලැබීම වැළැක්වීම සිදුවුණා. නමුත් වර්තමාන ආණ්ඩුව මේ පක්ෂ දෙකම නියෝජනය කරනු ලබනවා. මේ අවස්ථාව අහිමි වුවොත් නැවත විසඳුමක් ලැබේ යැයි කියන්න බැහැ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සියලු යෝජනා දකුණේ නායකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඒවා. අපි අපගේ ස්ථාවරය දැනටමත් ප්‍රකාශ කොට දැනුම් දී තිබෙනවා. මෙයට උතුරු නැඟෙනහිර පළාත්වල මහඇමැතිවරුන්ගේ යෝජනා ඇතුළත් කර නැහැ. දකුණේ පළාත් 6ක මහ ඇමැතිවරු මෙයට යෝජනා ලබාදී තිබෙනවා. එයින් එක් මහ ඇමැතිවරයකු යෝජනා කර තිබුණේ ආණ්ඩුකාර ධුරය අහෝසි කළ යුතු බවයි. නමුත් එම යෝජනාව පිළිගන්න බැහැ.

