ශ්‍රී ලංකාව Starlink අන්තර්ජාල සේවාවට තවත් පියවරක් සමීප වෙයි

Spread the love

ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හඳුන්වාදීමේ පියවරක් ලෙස, මහජන මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සංශෝධනවලට යටත්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අනුමත කර ඇත.

දැනට පවතින නීතිය වසර 28කට පසු ප්‍රථම වතාවට මේ ආකාරයෙන් සංශෝධන කර ඇති අතර, උසස් තාක්ෂණයට අනුකූලව කර්මාන්තය නියාමනය කිරීම සඳහා එමගින් පහසුකම් සපයයි.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත බලාත්මක කළහොත් රට තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන සැලසෙනු ඇති බවයි.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, තාක්ෂණ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අනුමැතිය ලබාදුන් බවයි.

ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අවශ්‍ය බවට යෝජනා කරමින් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කථානායකවරයා පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරනු ලබන සංශෝධනවලට ඉඩ සැලසෙන එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කළේය. ලෝකයේ තාක්ෂණික ප්‍රවණතාවලට අනුකූල වන පරිදි නීති සංශෝධනය කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

ලෝකයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර මෙම පනත් කෙටුම්පත සකස් කළ බවද එම නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව, වඩාත් තරඟකාරී වෙළඳපොළක් තුළ, පාරිභෝගිකයාට සාධාරණ වන නියාමනයක් සඳහා ඉඩකඩ තිබේ.

තරඟකාරී ක්‍රමයක් යටතේ විදුලි සංදේශ සංඛ්‍යාත ලබාදීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අදාළ නීති සම්පාදනය කරන බව ද අනාවරණය විය. ඒ අනුව අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කළ යුතු අතර එමගින් නව තාක්ෂණය මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හඳුන්වාදීමට මෙන්ම ව්‍යාපාරයේ නිරත ආයතන නිසි පරිදි නියාමනය කිරීමට ද අවස්ථාව උදාවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍රවලට අමතරව තවත් බලපත්‍ර වර්ග 3ක් හඳුන්වා දෙන බවද අනාවරණය විය. ඒ අනුව විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමාගම්වලට බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රතිපාදන සලසනු ඇත. මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් කෙරෙන බවද එම නිලධාරීන් ප්‍රකාශ කළහ.

තවද මෙම සංශෝධන හරහා වෙළඳපළ තරඟකාරිත්වයේ තීරුබදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට අවස්ථාව උදාවී ඇති බවද එම නිලධාරීන් පෙන්වා දුන්හ. මුහුද යට විදුලි සංදේශ කේබල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායකය තුළ ලබා දී ඇති ප්‍රතිපාදන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

විදුලි සංදේශ ආශ්‍රිත තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින හෙයින්, එවැනි තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාව සිය නීති සම්පාදනය සහතික කළ යුතු බව කමිටුවේ සභාපතිවරයා අවධාරණය කළේය. තවද, මෙම සංශෝධන මගින් විදුලි සංදේශ ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වාදීමේ වඩාත් සාධනීය ඉදිරි පියවරක් වනු ඇති බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

තවද, මෙම පනත් කෙටුම්පත රාජ්‍ය මූල්‍ය, වෙළඳපල තරඟකාරිත්වය සහ විනිවිදභාවය සහ පාරිභෝගික සාධාරණත්වය සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලමින් සිටින බව ද හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Related Posts