
පසුගිය පාස්කු දා ප්‍රහාරයෙන් පසු මෙරට සිංහල බෞද්ධයින් ප්‍රමුඛ, කතෝලික කිතුණු ජනතාවත්, දෙමළ – හින්දු ජනතාවත් මුහුණ පා ඇති අවධානම සහ අනාගත අභියෝග සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ සංවිධානත්වයෙන් සහ මූලිකත්වයෙන් ඊයේ(26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වා ඇතැයි වාර්තාවේ.
මෙම විශේෂ සාකච්ඡාව ආවරණය සඳහා කිසිඳු මාධ්‍ය ආයතනයකට අවස්ථාව ලබා දී නොතිබීම සුවිශේෂී වන අතර මේ සඳහා මෙරට සිංහල-බෞද්ධ සංවිධාන සියල්ලට අමතරව කිතුණු සහ හින්දු සංවිධාන නියෝජිතයින්ද සහභාගී වීම සුවිශේෂීය. මෙය වාර්තා කිරීමට පැමිණි ඇතැම් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයද ආපසු හරවා යවා ඇතැයි වාර්තාවේ.
මෙම විශේෂ බුද්ධිමය සංවාදය සඳහා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සභාපති අතිපූජ්‍ය කිරල විමලජෝති හිමියන් මුලසුන හොබවා ඇති අතර මෙය බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ජූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්, සිංහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්, මාලිගාකන්දේ සුදත්ත හිමියන්, සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඇතුළු පිරිස ප්‍රධාන වශයෙන් සහභාගී වී ඇත. මීට අමතරව දෙස් විදෙස් බෞද්ධ සංවිධාන නියෝජනය කරන සංවිධාන නියෝජිතයින් 100කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී ඇත. මීට අමතරව සිංහල-බෞද්ධ ප්‍රබල සමාජජාල ක්‍රියාකාරී නායකයින්ද මෙයට සහභාගී වී ඇත. එසේම මෙතෙක් ඉතිහාසයේ කවරදාක වත් එක්නොවූ, සක්‍රයාටවත් එක්කිරීමට නොහැකිවූ සිංහල-බෞද්ධ සංවිධාන සියල්ල එක් සාකච්ඡා මේසයකට කැඳවීමට හැකිවීම සිංහල-බෞද්ධයින් ලද සුවිශාල ජයග්‍රහණයක් බව මෙහිදී අතිජූජ්‍ය කිරම විමලජෝති හිමියන් පවසා ඇත.
කෙසේ වෙතත් මේ සඳහා යවන ලද ආරාධනා පතෙහි සඳහන්ව ඇත්තේ රාජ්‍ය ආරක්ෂාව හා සිංහල බෞද්ධ උරුමය වැනසී යාමට නොදී එදා මෙදා තුර අප රැකෙන පැමිණි සිව්හෙළයේ සුරක්ෂාව තහවුරු කරන්නට කාලය විසින් අප හට අවකාශ සලසා ඇති බවත් ඒ සඳහා ස්වදේශීකත්වය සුරකින කතිකාවකට ඔබට කරන ආරාධනය පිළිගන්නා ලෙසටත්ය.
එසේම මෙය ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය ප්‍රමුඛව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් සිදුකළ ආරාධනයක් වේ. මෙහිදී පිළිගැනීමේ කථාව සිදුකරමින් තිලංග සුමතිපාල මහතා පවසා ඇත්තේ, තමා මෙය සංවිධානය කළේ දේශපාලඥයෙකු වශයෙන් නොවන බවත්, සිංහල-බෞද්ධයින්ගේත් අනෙකුත් රටවැසියන්ගේත් මතු අනාගත ආරක්ෂාව වෙනුවෙන් මේ මොහොතේ සිදුවිය යුතු ජාතික යුතුකමක් සහ වගකීමක් ලෙස සලකා බවත්ය.