කථානායකවරයා අද ජනපතිගෙත්-අගමැතිගෙත් රූකඩයක් වෙලා

Spread the love

පාර්ලිමේන්තුවේ ස්වාධීන චරිතයක් වන කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නොව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඔහු ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ හැඳි පාවිච්චි කරනවා මිස සාධාරණත්වයේ හැන්ද පාවිච්චි නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

එකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

විපක්ෂ නායක ධුරය ලබාගැනීම හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ තීරණය එන්නේ පළාත් පාලන මැතිවරණයෙන් අපි ලැබූ ප්‍රතිඵලය සමඟයි. ජනවරමක් නැති නිසා ආණ්ඩුවේ අර්බුද මතු වෙලා. ඒ අර්බුදවලින් ගොඩ එන්න ආණ්ඩුව ජාතිවාදය අවුස්සනවා.

අපිට විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සම්බන්ධයෙන් පෞද්ගලික ගැටලුවක් හෝ ඔහුගේ ජාතිය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ කථානායකවරයා දුන් තීන්දුව අපි පිළිගන්නේ නැහැ. ඔහු තමන්ගේ මධ්‍යස්ථ බව පාර්ලිමේන්තුවට පෙන්විය යුතුයි.

යහපාලන ආණ්ඩුවට අවුරුදු 3 සම්පූර්ණ වන දිනයේදීම මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසට ඒමට නියමිතව තිබෙනවා. මේ සිදුවීම් හා තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය අවුරුදු තුනයි මාස 8දීම කතා වුණා. ඒ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට ඇඟිල්ල දික් කළා. දැන් තාජුඩීන් ඝාතනය ගැන කතා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ ජනතාව ආදරෙයි. ඒ ආදරයට ආණ්ඩුව වෛර කරනවා. ඒ නිසා ආණ්ඩුව මේ ආකාරයට තවත් ප්‍රශ්න රඟ දැක්වීමට නියමිතව තිබෙනවා. මොන පීඩනය එල්ල කළත් මහින්ද රාජපක්ෂ හෝ ඒකාබද්ධ විපක්ෂය සැලසෙන්නේ නැහැ.

අපිට දඬුවම් දීම සඳහා මෙම විශේෂ අධිකරණ පිහිටුවනවා. විශේෂ අධිකරණ පිහිටුවීම සම්බන්ධ තීරණය ගන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයයි. තලතා අතුකෝරාල ඇමැතිවරියටත් වඩා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ අධිකරණ පිහිටුවීම පිළිබඳව බොහෝ උද්යෝගයෙන් කතා කරනවා.

ලෝකප්‍රකට ඉකොනොමික් සඟරාව අනුව ලොව ජීවත් වීමට නුසුදුසු නගර අතුරින් කොළඹ නගරයට හිමිව තිබෙන්නේ 130 වැනි ස්ථානය. 2014 වසරේදී ලංකාවට හිමිවූයේ 124 වැනි ස්ථානයයි. යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු හතර තුළ අපේ රට ආපස්සට හැරෙව්වා.