ශ්‍රී ලාංකිකයන් 62,338කට විදේශගත වීම් තහනම්!

Spread the love

ශ්‍රී ලාංකිකයන් 62,338 දෙනකුට මෙරටින් විදේශගත වීම තහනම් කර ඇත. මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද දෙනා සිටිති. මෙම තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කෙරිණි.

ලංකාවේ අධිකරණ හා හමුදා අධිකරණ මඟින් මෙම නියෝග ලබා දී ඇති අතර 62,338ක් වන මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇත. හමුදා අංශවලට අයත් පිරිස හැරුණු විට මෙම තහනමට ලක්ව සිටින අය අතර දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති අය වෙති.

මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන්තොටුපොළ, සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එම කණ්ඩායම්වල ප්‍රයෝජනය සඳහා නවීන උපකරණ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත් බුද්ධි අංශ සඳහන් කරයි.

ගුවන් ගමන්වල යෙදෙන මගීන් පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මීට ඉහතදී අනාවරණය කළේය.

සංචාරක වීසා උපයෝගී කර ගනිමින් විදේශ රටවලට රැගෙනගොස් නීති විරෝධී අන්දමට විදේශ රටවල රැකියාවලට යොමු කරන ජාවාරම්කරුවන් මැඬලීම සඳහා මෙම දේශසීමා කළමනාකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

අසාදු ලේඛනගත කර සිටින පුද්ගලයන් කිහිපදෙනකු රටින් බැහැර වීමට හා රටට ඇතුළු වීමට ගිය අවස්ථා වාර්තා වීම නිසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙන බවද ආගමන විගමන පාලකවරයා පැවැසීය.

-මව්බිම-

RSL

Related Posts