
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
බොහෝවිට, කුසගින්න දරා ගැනීමට අසීරු අවස්ථාවකදී හෝ ආහාර සකසා ගැනීමට කාලය සිමාවන අවස්ථාවන්හිදී ක්ෂණික ආහාර Instant Foods හෝ පෙර පිසූ ආහාර Precooked Foods වෙත අප යොමුවන්නේ නිරායාසයෙනි. රැගෙන යාමට පහසු, රසවත් එවැනි නිෂ්පාදන, ඉක්මනින් හා පහසුවෙන් ආහාරයට ගැනීමට හැකිවීම එයට හේතුවයි.
මේ ආකාරයට ක්ෂණික හා පෙර පිසූ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට, ආහාර නෙරපුම් යන්ත්‍ර / Food Extruder Machine හා එම තාක්ෂණය ආධාරකර ගනු ලබයි. මෙම නිෂ්පාදන කර්මාන්තයේදී පිෂ්ඨය h සහ ප්‍රෝටීන වල භෞතික ස්වරූපයන් වෙනස් කිරීමෙන් සහ තන්තුමය ජෛව ක්‍රියාකාරී සංරචක එකතු කිරීමෙන් සකසන ආහාර ද්‍රව්‍යයන්ගේ පෝෂණ ගුණාංග වැඩිදියුණුකර ගැනීමට ද හැකියාව තිබේ. ආහාර නිෂ්පාදන පර්යේෂණාගාර සේවා ඔස්සේ වාර්තා වන්නේ, සෞඛ්‍යාරක්ෂිතව රැස්කරගත් ආහාර අමුද්‍රව්‍ය භාවිතකර නෙරපුම් යන්ත්‍ර තාක්ෂණය ඔස්සේ නව්‍ය ස්වරුපයෙන් විවිධ ලෙස සකසා ආහාර නිෂ්පාදනය කරගත හැකි බවයි. මෙලෙස ආහාර ද්‍රව්‍ය සකසා නිෂ්පාදනය කිරීමේ දී එහි භාවිත, පිරිසිදු තාක්‍ෂණය / Clean Technology සහ බලශක්ති භාවිතයේ ඇති කාර්යක්ෂමතාව යටතේ එමගින් වන පාරිසරික බලපෑම ද අවමවීම හොඳ ව්‍යවසායකත්වයකට අවශ්‍ය වැදගත් ලක්ෂණයකි.

අභිරුචි මෝස්තරයක් තෝරා ගැනීම ඇති හැකියාව
විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් අදියරකදීම අභිරුචි මෝස්තරයක් ලබාගැනීම උදෙසා ‘නෙරපුම් ක්‍රමය’ / Extrusion Method ඔස්සේ ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව නිෂ්පාදනය කිරීමට මෙම යන්ත්‍ර සැලසුම් කර ඇත. එමෙන්ම පාරිභෝගිකයින් අතර ඉතා ජනප්‍රිය වූ පෙර පිසූ / Pre-Cooked සහ ක්ෂණික Instant පිටි වර්ග නිෂ්පාදනය කිරීමේ හැකියාව එහි තවත් ප්‍රධාන වාසියකි. ඒ අනුව ධාන්‍ය / ධාන්‍ය මිශ්‍ර ආශ්‍රිත කෙටි ආහාර හා උදෑසන ළදරු ආහාර, පැස්ටා වර්ග, පෙර සැකසූ කුකීස්, චීස්, චුවිංගම් ආදිය මෙන්ම සුරතල් සත්ව ආහාර, සහ වෙනත් බොහෝ ආහාර ද්‍රව්‍ය ද්විතීයික නිෂ්පාදන ලෙස සැකසීමට ද මෙම යන්ත්‍ර පහසුවෙන් උපයෝගීකරගත හැකිව තිබේ. මෙම කර්මාන්තයේ වේගයෙන් වර්ධනයවන තවත් අංශයක් වන්නේ රනිල ප්‍රෝටීන / Legume Proteins භාවිතකර මස් හා සමාන පෙනුමත්, රසයත් අන්තර්ගත ආහාර වර්ග කැබලි, පෙති හෝ අනන්‍ය ආකාරයට සකසන ව්‍යාපාර වේ. ඒවා පාරිභෝගිකයින් අතරට එන්නේ වයනය වෙනස්කළ එළවළු ප්‍රෝටීන් / Textured Vegetable Protein ලෙසයි. එහි නාමය කුමක් වුවත්, සාමාන්‍යයෙන් මේවා නිෂ්පාදනය කරනුයේ සෝයා බෝංචි ආශ්‍රිතව ය. ඒ උදෙසා සෝයා බෝංචි තෙල් නිස්සාරණය කළ පසු ඉතිරිවන ප්‍රෝටීන් තලපය ඇසුරුකර ගැනේ.
වෙළඳපොළෙහි දැකිය හැකි ඉහත සඳහන් කළ ආකාරයේ ආහාර ද්‍රව්‍ය බහුතරයක්, කෙටි කාල සීමාවක් තුළදී ඉහල උෂ්ණත්වයක් (100-170°C) යටතේ අධි-උෂ්ණත්ව නෙරපුම් / High-Temperature Extrusion ක්‍රමවේදය භාවිතයෙන් නිපදවූ ඒවා වෙති. මෙහිදී අපේක්ෂිත නිෂ්පාදනය බිහිකර ගැනීමේ දී ඒ කෙරෙහි බලපෑම් කිරීමට ඉඩ ඇති සාධක කිහිපයක් පෙන්වා දිය හැකි වේ. උදාහරණයක් ලෙස, අමුද්‍රව්‍යවල ඇති තෙතමනය, ආහාර ද්‍රව්‍යයේ අන්තර්ගත සංඝටක අංශුවල ප්‍රමාණය, පිෂ්ඨය, ප්‍රෝටීන හා තන්තු ප්‍රමාණයේ අන්තර්ගතය, මිශ්‍රණයේ ප්‍රසාරණ අනුපාතය සහ යන්ත්‍රයේ ඇඹරුම් දඟරයේ (අවගාරයේ) දිග හා කැරකුම් වේගය, යන්ත්‍රය තුල ගොඩනැගෙන උෂ්ණත්වය, භාවිත අච්චුවල හැඩය, කැපුම් අනුපාතය, යන්ත්‍රය තුළ එම ද්‍රව්‍ය රඳාපවතින කාලය සහ එහි පීඩනය ඒ අතර ඉස්මතුවී පෙනේ. එමෙන්ම සිසිලනය සහ වියළීම ඔස්සේ සිදුවන තෙතමනය ඉවත්වීම, හැකිලීම, ඉරිතැලීම හේතු කොටගෙන අවසාන නිෂ්පාදනයේ රසයේ ස්වරූපයට වුවද බලපෑම් කළහැකි වේ. නිෂ්පාදනයේ ප්‍රසාරණ අනුපාතය /Expansion Ratio සහ අන්තර්ගත වාතයේ ප්‍රමාණය නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යයේ ලවණ සාන්ද්‍රණය මත රඳා පවතින බව සිතට ගන්න. එය ලුණු සහ පිෂ්ඨය අතර රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදිතයේ වර්ණ වෙනස්වීම් වලට හේතු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිළිමත් වන්න. මෙම සියළු ක්‍රියා යෝග්‍ය පරිදි ගලපා ගැනීමෙන් ඉතා හොඳ ආහාර නිෂ්පාදනයක් බිහිකර ගැනීමට හැකියාව තිබේ.

කෙටි ආහාර නිෂ්පාදනයට පහසුව
එමෙන්ම මෙම තාක්ෂණය භාවිතයේ දී සාමාන්‍යයෙන්, කෑමට සූදානම් කෙටි ආහාර / Ready-To-Eat Snacks බහුලවම නිෂ්පාදනය කරගත හැකිවේ. එසේම පසුව පිසීමට ගන්නා Later Cooking ආහාර සහ අඩු කාලයකින් සකසා පරිභෝජනයට ගතහැකි පැස්ටා සහ ඒ හා සමාන නිෂ්පාදන සැකසීම උදෙසා සීතල නෙරපුම් Cold Extrusion තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කරයි. මෙම ක්‍රමයේදී ආහාර අමුද්‍රව්‍ය රත් කිරීම 100oC දක්වා සිදු කෙරේ. එමෙන්ම අධික ඝනත්වය සහ ආර්ද්‍රතාවයක් යටතේ එකී නිෂ්පාදන කටයුතු සපුරා ගැනේ. ආහාර ද්‍රව්‍යයන් සකසන අවස්ථාවේ දී ඒවායෙහි පෝෂණ අගය රැකගැනීම ගැනීම සඳහා මෙම තත්ත්ව උපකාරී වේ. ඒ අනුව අමුද්‍රව්‍ය සහ භාවිත කරන ආහාර සංරචක තුළ තාප සංවේදී විටමින් සහ ඛනිජ ලවණ ආදීය ආරක්ෂාකර ගැනීමට හැකියාව උදාවේ.
මේ කුමන ක්‍රමවේදයක් සඳහා වුව ද උපයෝගීකර ගන්නා යන්ත්‍රයක වුව ද, ස්ථාවර ලේගරයක් Stationary Drum තුළ මනා ලෙස සවිකරන ලද එහෙත් භ්‍රමණය වන ස්කුරුප්පු Rotating Screw හැඩයේ ඇඹරුම් දඟර (අවගාර) එකක් හෝ ද්විත්වයක් පිහිටුවා තිබේ. අවසාන නිෂ්පාදනයේ හැඩය සකසන අච්චුවලින් සමන්විත වන සැකසුම් යාන්ත්‍රණයක් ද, එකී නෙරපුම් යන්ත්‍රයට සම්බන්ධ කර ඇත. සංසන්දනාත්මක මෙම යන්ත්‍ර දෙවර්ගය තුළදීම එය තුළට යොමුකරන ආහාර අමුද්‍රව්‍ය ප්‍රවාහනය Transportation, සම්පීඩනය Compression, මිශ්‍ර කිරීම, උණුසුම් කිරීම, පිසීම, කැපීම, සිසිල් කිරීම Cooling සහ අවසාන නිෂ්පාදනවල හැඩය සැකසීම එකම අවස්ථාවේ ඉටුකර දෙයි.
ඒ අනුව ක්‍රියාකාරිත්වයේදී මෙවැනි යන්ත්‍රයක් තුළට යොමුකරන වියළි ආහාර අමුද්‍රව්‍ය පළමුව උචිත පරිදි කොටස් වලට වෙන්කර ගනු ලැබේ. එසේ සකසාගත් ද්‍රව්‍ය හෝ මිශ්‍රණය පූර්ව සකසන ඒකකයක් Pre-conditioner වෙත යොමුකරන අතර ඉන් පසුව භ්‍රමණය වන ස්කුරුප්පු හැඩයේ දඟරය (අවගාර) ඒකක වෙත එම ද්‍රව්‍ය යොමු කෙරේ. දෙවනුව නිෂ්පාදනයට අවශ්‍ය අවශේෂක ද්‍රව්‍ය අනතුරුව එක්කාසු කරනු ලැබේ. ඉන් අනතුරුව එයට ජල වාෂ්ප නික්ෂේපණය කෙරේ. නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹුමේ සිටම ඇඹරීමට ඒකකය ක්‍රියාත්මක වේ. ඒ අනුව එයට යොමුවන අමු ද්‍රව්‍ය සියල්ලම ඇඹරීමකට නතු කෙරේ. සාමාන්‍යයෙන් මෙම ක්‍රමයේදි ගොඩනගන පාලන තත්වයන් යටතේ ජෙලටනීකරණය හා පිෂ්ඨයේ ප්‍රෝටීන විස්වභාවීකරණය Protein-Denaturation කිරීමක් සිදුවේ. එහිදී ගොඩනැගෙන උෂ්ණත්වය යටතේම සැකසෙන දියාරු මිශ්‍රණය Extrudate පීඩනයක් (බාර් 10-20) යටතේ බලෙන් නිමි තැටි Plate හෝ නිමි අච්චු Die දෙසට නෙරපා-තෙරපා යවනු ලැබේ. ඒ උදෙසා ඇඹරුම් ස්කුරුප්පු අවගාරයේ ඇලි හැඩය ද සහායකර ගැනේ.
නිෂ්පාදන පියවරේ අවසාන අදියරේදී ඉවතට පැමිණෙන සැකසූ ආහාර ද්‍රව්‍ය පූර්ව නිශ්චියකරගත් දිග පළල හෝ පරිමාව අනුව කැපුම් තල මගින් කපා වෙන්කර ගනු ලැබේ. ඉන් අනතුරුව ආහාර ද්‍රව්‍යයේ සවිවර සිදුරු නිර්මාණය වෙමින් ඒවා ඝන වියළි ස්වරූපයට පත්වන තුරු වියළි සිසිලනය කිරීමකට භාජනය කෙරේ. නෙරපීමෙන් සැකසු නිෂ්පාදනයන්හි එහි වර්ණය හා වයනය මත අන්තර්ගත ලවණ ප්‍රමාණය නිර්ණය වේ. ඒ කෙරෙහි ප්‍රසාරණයවීමේ ප්‍රතිශතය හා වාතාශ්‍රය රැඳෙන ආකාරය බලපවත්වයි. අමුද්‍රව්‍ය නෙරපා ආහාර වර්ග සැකසීමේදී එම ද්‍රව්‍යයට එක්කාසුකරන වර්ණක හා රසකාරක නියමාකාරයෙන් පැතිරීමට එහි අන්තර්ගත ලවණ ප්‍රතිශතය ද උපකාරී වන බව සිතට ගන්න.
ආහාර ද්‍රව්‍යයේ මොලොක් බව
එසේම සකසනු ලබන ආහාර ද්‍රව්‍යයේ මොලොක් බව රඳා පවතිනුයේ එම ද්‍රව්‍යයේ උකුබව ඇතිකිරිමට උපකාරීවන තෙතමන ප්‍රමාණයයි. තෙතමන ප්‍රමාණය වැඩිවීමේදී ගැලීමට දක්වන ප්‍රතිරෝධීබව Viscosity හෙවත් උකුගතිය අඩුවේ. එනම් මිශ්‍රණයේ දියාරුබව වැඩිවේ. මිශ්‍රණයේ ඝනත්වය ඉහළ යයි. ඇඹරීමට ඇති හැකියාව සහ උෂ්ණත්වය පහළ බසියි. මෙම හේතු කාරක මත අච්චු වලට මිශ්‍රණය තෙරපීමේ පීඩනය පහල බසියි. එම හේතුව නිසා බහුතරයක් වූ ආහාර ද්‍රව්‍ය නෙරපුම් ක්‍රමය යටතේ සැකසීමේ තෙතමන ප්‍රතිශතය 40% වඩා අඩු මට්ටමක පවත්වා ගනු ලැබේ.
මෙවැනි යන්ත්‍රයක ඇඹරුම් ඒකකය අධිවේගී වානේ වලින් නිර්මිත වන අතර අනෙකුත් උපාංග මළනොකන වානේ 304 හා 316 මගින් නිපදවා ගැනේ. ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු යන්ත්‍රයන්හි කොටස් උදෙසා ක්‍රෝමියම්, මොලිබ්ඩිනම් හා ඇළුමිනියම් හෝ වානේ මිශ්‍ර ලෝහ භාවිතයට ගනු ලැබේ. සාමාන්‍ය ගෘහස්ථ එකළා විදුලි බල සැපයුමෙන් මෙන්ම කර්මාන්ත උදෙසා වන තෙකළා විදුලි බල සැපයුමෙන් ක්‍රියාකරන සුළු පරිමාණ නිෂ්පාදන යන්ත්‍ර මෙන්ම විශාල පරිමාණයේ නිෂ්පාදන යන්ත්‍ර මෝස්තර ද දැන් මෙරටට ආනයනය කරනු දැකගත හැකිවේ.

Ready‐To‐Eat ආහාර නිෂ්පාදනයට පහසුවක්
විශේෂයෙන්ම කෑමට සූදානම් / Ready‐To‐Eat ආහාර නිෂ්පාදන සඳහා පාරිභෝගික ඉල්ලුම ඉදිරි වසර පහ තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එහෙයින් මෙවැනි නිෂ්පාදන වෙළඳපොළ වෙත ප්‍රවේශ කිරීම අරඹයා නව ව්‍යවසායකයෙකු ලෙස ඔබටත් ඒ උදෙසා අවතීර්ණ වීමට යෝජනා කරමු. මේ උදෙසා විවිධ නිෂ්පාදන පරිමාණයන්ට ගැළපෙන පරිදි භාවිතයට යොදාගත හැකි විවිධ ප්‍රමාණයේ යන්ත්‍ර මේවන විටදී විවෘත වෙළඳපොළෙන් සපයා ගැනීමට කුඩා, මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ව්‍යවසායයන් හට ද දැන් අවස්ථාව උදාවී තිබේ. සාපේක්ෂව අවම ශ්‍රම ඒකක ගණනක් සමඟ තාක්ෂණික අනුවර්තනය ඔස්සේ නම්‍යශීලී පහසුකම මත නව ව්‍යාපාර සඳහා මෙය ආකර්ශනීය විකල්ප නිෂ්පාදන සංකල්පයක් වනු ඇත.
එමෙන්ම, යෝජිත හා අපේක්ෂිත ආර්ථික සංවර්ධනය අත්පත්කර ගැනීමේදී ආහාර නිස්සාරණය කිරීමේ ව්‍යවසායකත්ව අරඹයා ආයෝජනය කිරීමෙන් ව්‍යවසායකයෙකු වශයෙන් ඔබට අත්පත්කර ගත හැකි ප්‍රතිලාභ රැසකි. විශේෂයෙන්ම පුළුල් පරාසයක ආහාර නිෂ්පාදන විවිධාංගීකරණය හා නිර්මාණය කිරීමට නෙරපුම් තාක්ෂණය යටතේ ඉඩකඩ සැලසේ. එවැනි ව්‍යාපාරයක් උදෙසා ආයෝජනය කිරීමෙන්, නව ව්‍යවසායකයෙකුට තම නිෂ්පාදන ඔස්සේ පාරිභෝගික මනාපයන් සපුරාලීමට සහ නව වෙළඳපල පංගුවක් අත්පත්කර ගැනීමට පුළුල් විභවයක් ද පවති යී.
වෙළඳපළ ඉල්ලුම සම්බන්ධයෙන් පාරිභෝගික මනාපයන් සැමවිටම වෙනස් වේ. මෙම තත්ත්වය හමුවේ නිර්මාණශීලී ආහාර නිෂ්පාදන සඳහා වන වෙළඳපල ප්‍රවණතා පුළුල්කර ගැනීමට ඉඩකඩ සැළසේ. එහෙයින් තම නිෂ්පාදන ක්‍රියාපටිපාටි විධිමත් කිරීම සහ සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව ප්‍රශස්තකිරීම මගින් අගය එකතු කළ නිෂ්පාදන වෙත යොමුවීම නව ව්‍යවසායකයෙකුහට නිෂ්පාදන පිරිවැය අඩුකර ගෙන ආන්තික ලාභ වැඩිකර ගෙන තිරසර ව්‍යාපාරයක නිරතවීමට මග විවරකර ගතහැකි වේ.
කෙසේ වුව ද මෙම යන්ත්‍රයන්හි වටිනාකම හා භාවිතය අනුව, ඒවායේ කාර්යක්ෂමතාවය ප්‍රශස්ත කිරීම අරමුණු කරගත් ඕනෑම නිෂ්පාදකයෙකුට එම යන්ත්‍ර ක්‍රියාකාරිත්වය සහ නඩත්තු කිරීම අවබෝධකර ගැනීම අත්‍යවශ්‍ය බව පවසමි.
නිරන්තර පරීක්ෂාව හා නඩත්තුව
එහෙයින් ආයෝජන මත විශාලතම ප්‍රතිලාභය / Return On Investment උත්පාදනය කිරීමට සහ ඵලදායිතාව උපරිම කිරීමට / Maximize Productivity සහ නිෂ්පාදන සංගතිය රැකගැනීම උදෙසා ඔබගේ නෙරපුම් යන්ත්‍ර නිරන්තර පරීක්‍ෂාකර නඩත්තු කිරීම වැදගත් වනු ඇත. ඒ උදෙසා නිශ්චිත නඩත්තු කාලසටහනකට අනුගත වීමෙන්, ඔබට බාධාවකින් තොරව දිගු කලක් එය පරිහරණය කිරීමට ද හැකියාව උදා කෙරේ. ඒ ඔස්සේ සමස්ත යන්ත්‍රයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය සැලකිය යුතු ආකාරයෙන් ඉහළ නැංවිය හැකි බව ද වටහා ගන්න.
මෙහිදී උද්ගතවන ප්‍රධාන ආපදා ලෙස යන්ත්‍ර කොටස් ගෙවීයාම, විඛාදනවීම සහ අවශේෂ ද්‍රව්‍ය රැදී පැවතීම පෙන්වා දිය හැකිවේ. එහෙයින් මෙම යන්ත්‍ර දිනපතා පිරිසිදු කළ යුතු අතර සතිපතා සම්පූර්ණ පිරිසිදු කිරීමක් සිදුකළ යුතු ද වේ. විශේෂයෙන්ම භාවිතයේදි එහි මුද්‍රා, සිසිලන පංකා සහ ගියර් පෙට්ටියේ ස්නේහන තෙල් සැපයුම් මුව දූවිලි රැඳීම හේතුවෙන් අවහිර වේ. එහෙයින් එම ස්ථාන සිසිල්, වියළි අධිපීඩන සුළං ධාරාවක් යොමුකර පිරිසිදු කරන්න. ඉන් අනතුරුව එක් එක් කොටසක් ප්‍රවේශමෙන් පරීක්ෂා කළ යුතුයි. මෙය එක් එක් කොටස නිවැරදිව ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා වන තීරණාත්මක පියවරකි. එමගින් දෝෂයක් කලින් හඳුනාගෙන එය ඉක්මනින් නිවැරදි කරගත හැකි අතර, ඒ හේතුවෙන් අනෙකුත් කොටස් වලට සිදුවන හානිය අවමකර ගැනීමට ද හැකි වේ. එමෙන්ම යාන්ත්‍රික සංරචක සමඟ ඉලෙක්ට්‍රෝනික උපාංග සහ විදුලි රැහැන් පරීක්ෂා කරන්න. දිගුකාලීන භාවිතය, කම්පනවීම් සහ දූවිලි හා ජලවාශ්ප වැනි සාධක නිසා ආවරණය වූ වයර් සහ විදුලි පරිපථවලට හානි උදාකළ හැකිය. නුසුදුසු මෙහෙයුම් මත සිදුවන හදිසි ආපදා හා අනතුරු මෙන්ම පාරිසරික බලපැම් මත කල්යාමේදී යන්ත්‍රයේ සංරචක වලට හානි පැමිණෙනු ඇත. නිදසුනක් ලෙස, මුද්‍ර වියළීම හෝ කැඩී යාම, බෝල්ට් නැමීම, ලිහිල් වීම හෝ ඒවායේ මුල් හැඩයෙන් විකෘති වීම පෙන්වා දිය හැකිය.

ලිහිසි තෙල් මත රඳා පවතින බව මතක තබා ගන්න
එමෙන්ම ඔබේ යන්ත්‍රය හා එහි සහායක උපකරණ නිසි ලෙස ක්‍රියාත්මකවීම, ලිහිසි තෙල් මත රඳා පවතින බව මතක තබා ගන්න. මෙම ද්‍රවයන් චලනය වන කොටස් වටා ඇති ඝර්ෂණය අඩුකර ක්ෂයවීම අඩු කරයි. ලිහිසි තෙල් යන්ත්‍ර අභ්‍යන්තරය පිරිසිදුව තබා ගැනීමට ද උපකාරී වන අතර එමඟින් ක්‍රියාකාරිත්වයේදී අභ්‍යයන්තරයේ ගොඩනැගෙන අපද්‍රව්‍ය අංශූන් බැහැර කිරීමට අවකාශය සැළසේ. එහෙයින් යන්ත්‍රයේ ලිහිසි තෙල් මට්ටම් නිතර පරීක්ෂා කරන්න. අපද්‍රව්‍ය එක්රැස්වීම සහ තෙල් මුද්‍රා කාන්දුවීම ගැන නිතිපතා සොයා බලන්න. සෑමවිටම ක්‍රියාකරුගේ අත්පොතෙහි Operator’s Manual යෝජනා කර ඇති ලිහිසි තෙල් වර්ගය සහ නියම තෙල් ප්‍රමාණය පමණක් භාවිතා කරන්න. ලිහිසි තෙල් ඉතා අඩුවෙන් භාවිතා කිරීමෙන් ක්‍රියාකාරී කොටස් අතර ඝර්ෂණය වැඩිවීමේ අවදානමක් ඇති වේ. ඒ හේතුවෙන් කොටස් ගෙවීයාමේ අවදානම වැඩිවේ. අධික ලිහිසි තෙල් සැපයුම එහි පීඩනය වැඩි කරන අතර යන්ත්‍ර ක්‍රියාකාරිත්වයට ගැටළු ඉස්මතු කරන බවත් සිතට ගන්න. මීට අමතරව, ඔබේ නෙරපුම් යන්ත්‍රයට අදාලව සිදුකරන නඩත්තු කටයුතු සහ සේවාවන් විස්තරාත්මකව ලේඛනගත කරන්න. එම වාර්තා තබා ගැනීම යන්ත්‍රයේ අනාගත නඩත්තු කටයුතු උදෙසා වැදගත් අවශ්‍යතාවයක් බව පැවසිය හැකිවේ.
නිසි පුහුණුවක් අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න
විශේෂයෙන්ම ක්‍රියාකරුවන්හට නිසි පුහුණුවක් නොලැබීමෙන් මෙම නෙරපුම් යන්ත්‍ර ක්‍රියාකාරිත්ව ක්ෂණිකව බිඳවැටිමට ලක්විය හැක. එහෙයින් යන්ත්‍රය ක්‍රියාකරන ආකාරය, හදිසි අවස්ථාවකදී ගතයුතු ආරක්ෂක පියවරයන් සහ නඩත්තු කිරිමට ප්‍රවේශ විය යුත්තේ කොතැනටද යන්න පිළිබඳව සේවකයින් පුරුදු පුහුණු කිරීමට පියවරගන්න. එය ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල්වනු ඇත.
මෙම කරුණු අවබෝධකරගත හොත් නව ව්‍යවසායකයෙකු ලෙස විවෘත වෙළඳපොලේ තරගකාරීව ඉදිරියට යාමට පැහැදිලි මගක් ඔබට විවරවනු ඇත. මේ උදෙසා යොමුවීමට කැමති ආයෝජකයින්හට අවශ්‍ය සුදුසුම යන්ත්‍ර පිළිබදව China, 100083 Beijing, Chaoyang District, No.1 Beishatan Deshengmen wai,පිහිටුවා ඇති Chinese Academy of Agricultural Mechanization Sciences (CAAMS) ආයතනය වෙතින් නිර්ව්‍යාජ තොරතුරු ලබා ගැනීමට දැන් ශ්‍රී ලාංකිකයිනට අවස්ථාව උදාවී තිබේ.
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ