SMEs Guide SL: ආහාර සැකසුම් ව්‍යවසායකත්ව සවිබල ගැන්වීමේ වැදගත්කම සහ අභියෝග මොනවාද ?

Spread the love

දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ.

විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන මහ පරිමාණ ව්‍යවසායකත්ව අතලොස්ස වෙතින් බැහැරව රැකියාවලින් 45 %කට වඩා සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක පමණ දායකත්වයක් ලබා දීමට දැනට සක්‍රීයව පවතින මෙම ඝනයේ ආයතනවලට හැකියාව ලැබී තිබේ. එවැනි පරිසරයක් තුළ ශ්‍රමය වැයකරන පුරුෂයින්, කාන්තාවන්, තරුණයින් සහ ආන්තික ප්‍රජාවන්ගේ /Marginalized Communities ජීවනෝපාය සඳහා මෙවැනි ව්‍යවසායන් බහුතරයක් වෙතින් ලැබෙනුයේ ඉමහත් පිටුබලයකි. රටතුල නැගී එන මෙම ව්‍යාපාර වලින් අතිබහුතරය පුද්ගලික ව්‍යවසායකත්වවීම ද සැලකිය යුතු කරුණකි.

නිර්වචනාත්මක හැින්වීම

ලෝකය පුරා විවිධාකාරයෙන් අර්ථ නිරූපණයකර දක්වා ඇති මෙම ව්‍යවසායකත්ව, ක්‍රියාත්මක වන රට අනුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන ලෙස ප්‍රමාණ කිරීමට හෝ වර්ගීකරණය කිරීමට නිර්ණායක ගණනාවක් පදනම් කරගනු ලැබේ. වෙළඳපළ ප්‍රාග්ධන ආයෝජනය, සේවක සංඛ්‍යාව, වත්කම් ප්‍රමාණය, වාර්ෂික විකුණුම් හෝ මෙම විශේෂාංගවල ඕනෑම සංයෝජනයක් ඊට ඇතුළත් වේ.

ඒ අනුව සලකා බැලීමේදී මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපාර අතුරෙන් අති බහුතරයක් ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් බව පැවසිය හැකි වේ. සාමාන්‍යයෙන්, ස්වාධීන ආයතන වන මේවායෙහි නිරත සේවකයින් ප්‍රමාණය 50 ට අඩු ගණනකි. මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයක වුව ද මුළු සේවක සංඛ්‍යාව 250කට වඩා අඩු අගයක් ගනු ඇත. කෙසේ වෙතත් උපරිම සේවක සංඛ්‍යාව එක් එක් ව්‍යවසායකත්වය අනුව වෙනස්වීමට ඉඩකඩ පවතී.

උදාකරගත් දේශපාලන සමාජ පරිවර්තනය ඔස්සේ සාධාරණ ආර්ථික සංවර්ධනයක් අත්පත්කර ගැනීම උදෙසා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්ව මත ඇති හැකියාව අපි සුළුපටුකොට නොසැලකිය යුතුය. මක්නිසාද යත්, සංවර්ධනය වන ග්‍රාමීය ප්‍රදේශයන්හි විරැකියා අනුපාත / Unemployment Rates අඩු කිරීමට උපකාරවන අතරම දේශීය වෙළඳපළ කුමන හෝ ආකාරයකින් උත්තේජනය කිරීමට මෙම ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් දායකවන හෙයිනි. එමෙන්ම ඒවා බිම් මට්ටමේ ව්‍යාපාරික ව්‍යුහය ප්‍රවර්ධනය කරමින් සමස්ත ආර්ථිකයට සැලකිය යුතු ලෙස බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබේ. එසේ වුව ද මෙරට ආර්ථිකයේ පවතින ගතානුගතික ව්‍යුහය වෙනස් කිරීම අරභයා ක්ෂුද්‍රකුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්ව ක්‍රියාකාරිත්වයට හා වර්ධනයට එරෙහි වන සාධක බැහැරකරලීමට අපි තවමත් අපොහොසත්ව ඇත.

ආර්ථිකයට දක්වන ප්‍රබල දායකත්වය

එමෙන්ම සාර්ථක ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්ව වසර 10-15ක්, ඇතුළත සාමාන්‍යයෙන් විශාල ආයතන බවට පරිණාමය වීමට ඇති ඉඩප්‍රස්ථා හේතුවෙන් එවැනි ව්‍යාපාර අනාගතයේ ආර්ථික වර්ධනයට ප්‍රබල දායකත්වයක් ද සපයනු ඇත. දැනටමත් පවතින විශාල ව්‍යවසායකත්ව වෙනුවෙන් ප්‍රාථමික නිෂ්පාදන අභිජනනයකරන භූමිය සහ හෝ පහසුකම් සපයන්නෙකු ලෙස ඒවා ආර්ථිකයට වැදගත් දායකත්වයක් සපයමින් තුලිත මුල්‍ය සංසරණයකට මග පාදනු ඇත.

එසේම වෙළඳපොළේ වෙනස්වන අවශ්‍යතා වලට ඉක්මනින් අනුවර්තනය වීමේ හැකියාව / Capable of Adapting ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායන් වෙත පවතී. එහෙයින් බොහෝ තාක්ෂණික ක්‍රියාවලීන් ආරෝපණය කරගැනීමට ඒවාට පහසුවේ. එහෙයින් මෙරට ආර්ථිකය හැඩගැස්වීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉක්මනින් ඉටුකරදීමට ඒවාට අවස්ථාව සැලසේ. ඒ හේතුවෙන්, එම අංශය ආර්ථිකයක උපායමාර්ගික ක්ෂේත්‍රයක් බව අප අවබෝධ කරගත යුතුවේ. විශාල ව්‍යවසායන් වැඩි ප්‍රමාණයක් වෙළඳපොළ ප්‍රතිලාභ අත්පත්කර ගැනීම සඳහා තම පැරණි නිෂ්පාදන වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බැවින්, එවැනි ආයතන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තරම් නම්‍යශීලී / Flexibility නොවන බවද අප වටහාගත යුතුය.

තරඟකාරී උත්තේජනයක්

එමෙන්ම නිෂ්පාදන සැලසුම් කිරීම, මිල ගණන් සහ කාර්යක්ෂමතාව සඳහා තරඟකාරී උත්තේජනයක් / Stimulate Competition ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් ඉටුකරයි. එසේ නොමැති කළ විශාල ව්‍යවසායන් සියලුම  ක්ෂේත්‍රවල පාහේ මෙහෙයුම් ක්‍රියාකාරකම්හි ඒකාධිකාරයක් දරනු ඇත. එහෙයින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන කටයුතු කිරීම යුගයේ කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමි. නාමිකව කුමන ස්වරූපයෙන් වර්ගකර හැඳින්වුව ද මෙම ව්‍යවසායයන් කෘෂිකර්මාන්තයේ සිට තාක්‍ෂණික නිෂ්පාදන සහ සේවා අංශය දක්වා පුළුල් පරාසයක් ආවරණය කරයි. එසේ වුව ද ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ගේ විභවය කෙරෙහි බලාත්මකවන බාධක ඒවායෙහි ප්‍රගතියට බාධා කරන ආකාරය දැකගත හැකි වේ.

උද්ගතවන පළමුවන ගැටලුව

මෙහිදී උද්ගතවන පළමුවන ගැටලුව වන්නේ ප්‍රාග්ධනයට ප්‍රවේශ වීම කෙරෙහි ඇතිකරවන බාධාවයි. ඉහළ අවදානම් පැතිකඩ හේතුවෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් / Entrepreneurs බොහෝවිට සීමිත ඇපකර සහ අරමුදල් සපයා ගැනීම උදෙසා අරගල කරයි. දෙවනුව සේවා පහසුකම් අත්පත්කර ගැනීමේදී පළාත් පාලන ආයතන සහ ඇතැම් රාජ්‍ය ආයතනික රෙගුලාසි වෙතින් ඇතිකරන බලපෑම් පෙන්වා දිය හැකි වේ. එමගින් නව ව්‍යවසායකත්ව ඇරඹීමේදී හා පවතින ව්‍යවසායකත්ව පුළුල් කරගැනීමට යාමේදී අධෛර්යමත් කරන සුළු කතිකාවතේ සිට අල්ලස තෙක් විවිධාකාර අකටයුතුකම් පැහැදිලිවම විද්‍යාමාන වේ. එහෙයින් ණය සහ ව්‍යාපාර ප්‍රාග්ධනය සඳහා පහසු ප්‍රවේශය සඳහා නිවැරදි යාන්ත්‍රණයක් සංවර්ධනයකර බලාත්මක කිරීම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්ව වර්ධනයට ඉවහල් වන බව අවධාරණය කරමු.

එමෙන්ම මෙහි දී ප්‍රමාණවත් ලෙස පැතිරුණු හෝ සංවර්ධනය වී නොමැති සංනිවේදන ජාල, විදුලිය බලය, ජලසම්පාදනය, හා මාර්ග පහසුකම් වැනි යටිතල පහසුකම් සපුරාගැනීමේදී  ඇතිකරන පීඩාකාරී මානසිකත්වය බොහෝ අවස්ථාවක තුරුණුවියේ නව ව්‍යවසායකයින් අපේක්ෂා භංගත්වයට ඇද දැමීමට ඉවහල්වන බව පැවසිය හැකිවේ. බොහෝ දෙනෙකුට නොපෙනුන ද මෙහිදී බොහෝ රෙගුලාසි සරල කිරීම සහ නිලධාරිවාදී බාධාවන් / Bureaucratic Hurdles අවම කිරීම උදෙසා රජය සූක්ෂ ලෙස මැදිහත්විය යුතුබව පෙන්වා දෙමු.

තාක්‍ෂණය සඳහා ප්‍රවේශ අවස්ථා මඳවීම

විශේෂයෙන්ම ව්‍යාපාරික ලෝකයේ තත්කාලීනව සිදුවන පරිවර්තනයන් හඹායාම උදෙසා තොරතුරු තාක්‍ෂණය සඳහා ප්‍රවේශ අවස්ථා මඳවීම / Lack of access හා ඉහළ වැටුප් හා වරප්‍රසාද අරඹයා ඒ පිළිබඳ නිපුණතා ඇති සේවකයින් ආරම්භක අවධියේදී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්ව වෙතින් විතැන්වීම නව ව්‍යාපාරික භාවිතයන් ක්‍රියාත්මක කිරීමට මෙම ව්‍යවසායකත්ව අරබයා ඉමහත් බාධාවක්ව පවතී. එම හේතුවෙන් ගොඩනැගෙන අලෙවිකරණ දුෂ්කරතා හමුවේ ස්වකීය නිෂ්පාදන වෙළඳපල වෙත ප්‍රවේශ කිරීමේ අභියෝග වලට මෙකී ව්‍යවසායකත්ව නතුවේ. මෙවැනි බාධාකාරී ගැටලු හමුවේ දේශීය වශයෙන් ගොඩනගාගත යුතු ආර්ථික මොඩලය තුළ පෞද්ගලික අංශයේ සංවර්ධන අවශ්‍යතාවයන් අවබෝධකර ගෙන උචිත පිළියම් ගැනීම රටේ තිරසාර ආර්ථිකය වර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය  කරුණකි. ඒ උදෙසා උචිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ප්‍රතිපත්තිමය වශයෙන් රට තුළ ව්‍යුහාත්මක වෙනසක් කළ යුතුම ය. ඒ සමඟ ම දැනටමත් රාජ්‍ය අංශය සතුව ක්‍රියාත්මකවන ආයතන ඔස්සේ තව දුරටත් ව්‍යවසායකයින්හට අවැසි පුහුණුව සහ තාක්ෂණික සහාය / Training and Technical support න්‍යායාත්මක ස්වරූපයෙන් බැහැරව තත්වාකාරයෙන් ලබාදීමට ක්‍රියා කළ යුතුවේ.

කවර නම් වූ අභියෝග මධ්‍යයේ වුව ද, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්වයන්හි ගාමක විභවයට අගුළු නොදැමිය යුතුය. ඔවුන්ගේ වර්ධනයට හිතකර පරිසරයක් රජය නිර්මාණය කළ යුතුය. ඒ අනුව යළි ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීමට ඒ ඔස්සේ අවස්ථාව උදාකර ගත හැකිවනු ඇත. මේ උදෙසා ඉතා ඉක්මනින් ප්‍රතිසංවර්ධනයට නතු කළ යුතු අත්‍යවශ්‍ය පැතිකඩක් ලෙස ආහාර නිෂ්පාදන සැකසුම් ක්ෂේත්‍රය / Food Processing Sector හඳුන්වා දිය හැකි වේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු වීම

මක්නිසා ද, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම / Ensuring food safety ඔස්සේ මෙරට ප්‍රජාවගේ සෞඛ්‍යය වඩාත් යහපත් ආකාරයෙන් ගොඩනැගීමට හැකිවන හෙයිනි. එසේ නොවුව හොත් අනාරක්ෂිත ආහාර නිෂ්පාදන, ප්‍රජාව රෝගාතුර කිරීමට මෙන්ම පාරිභෝගික නොසන්සුන්තාවය වර්ධනය කිරීමට ද හේතුකාරක වනු ඇත. එහෙයින් ආහාර සැපයුම් දාමයේ / Food Supply Chain තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඇතැම් ව්‍යවසායකත්ව තිරසර ලෙස සංවර්ධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුවිය යුතුවේ. ඒ ඔස්සේ දේශීය ආහාර නිෂ්පාදන කර්මාන්තය අංශය තුළ උසස් ප්‍රාගුන්‍යයක් අත්පත්කර ගැනීමට ව්‍යවසායකයින්හට අවස්ථාව විවරකර දියහැකි වේ. මේ උදෙසා ජාත්‍යන්තර සම්මත ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් / Implementing International Food Safety Standards සහ එම භාවිතයන් ක්‍රියාවට නැංගවීම ඉතා වැදගත් බව පෙන්වා දෙමි.

බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් ව්‍යාවසායකයින්ගේ අපේක්ෂාව වන්නේ, ව්‍යාපාරය හෝ ව්‍යාපාර නාමය ලියා පදිංචි කිරීම, සේවක පඩිනඩි ගෙවීම හා සුරක්ෂා ක්‍රම වෙත දායකවීම සහ වරිපනම් හා ආදායම්බදු ගෙවීම තුළින් පමණක් ප්‍රමාණවත්වන බවයි. එසේ වුවද ආහාර නිෂ්පාදන සැකසුම් කර්මාන්තය තුළ ඉන් ඔබ්බට ගොස් සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි දැක්විය යුතු අවධානය අවධාරණය කරයි. මෙහිදී කාර්යක්ෂම ලෙස සම්පත් කළමනාකරණය / Resource Management ඔස්සේ ආහාර නිෂ්පාදන සැකසුම් ක්‍රියාවලීන්හි දී ආහාරවල ගුණාත්මය නැතිවීම සහ සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය මුසුවීම බැහැර කිරීමේ ක්‍රියාමාර්ග උදෙසා  ආහාර සුරක්ෂිතතා පද්ධති සහතිකකරන ක්‍රමවේද / Food Safety System Certification අනුගමනය කිරීමට හා පිළිපැදීමට එම ව්‍යවසායකත්වයන් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමි. ඒ ඔස්සේ දේශීය ආහාර නිෂ්පාදන සැකසුම් ව්‍යවසායකත්ව තුළ ආහාර දුෂ්‍යවීම වැළැක්වීම, උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන ප්‍රමිතීන් සපුරාලීම සහතික කිරීම සහ අවදානමට ලක්විය හැකි අවස්ථා සුරක්ෂා කිරීම සඳහා ප්‍රවේශවීමට ඔවුන් පෙළඹවිය හැකිවනු ඇත.

රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් ද ?

එහෙත් මේ අරභයා අවැසි තාක්‍ෂණික සහයෝගීතා හා දැනුවත්කිරීම් අරබයා රාජ්‍ය අංශයේ මැදිහත්වීම කොතෙක් දුරට ප්‍රමාණවත් ද යන්න විමසා බැලීම රජයේ වගකීමයි. ඒ උදෙසා ව්‍යවසායකයින්හට මෙන්ම එම කර්මාන්තයේ නියැලෙන සේවකයින්හට ද  වෘත්තීය හැඩගැසීම සහ ධාරිතාව ප්‍රවර්ධනය කරන උපකාරක වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අදාළ ආයතනයන්හි සුවිශේශී වගකීමක් ලෙස පෙන්වා දෙමු. එවැනි වැඩසටහන් මගින් ආහාර සුරක්ෂිතතා පද්ධති ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම බලාත්මක කිරීමට අවස්ථාව උදාකරගතහැකිවේ. මෙවැනි සාධනීය වෙනස්කම් හමුවේ, දේශීය වෙළඳපළ ප්‍රවේශය වැඩිදියුණු කරගැනීමටත්, ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් සහ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ගේ අභිමතාර්ථයන් සපුරාලීමටත් උක්ත ව්‍යවසායකයින්හට අවස්ථාව සැලසෙනු ඇත.

එපමණක් ද නොව ආහාර නිෂ්පාදන ව්‍යවසායකත්ව අඛණ්ඩව සංවර්ධනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ඉඩ සලසන සමරූපී / Conformity ප්‍රවේශයක් ඒ ඔස්සේ ඉදිරිපත් කළ හැකි වේ. ස්වයං ඇගයීමේ මෙවලම් සමග සුරක්ෂිතතා පිළිවෙත් තක්සේරු කිරීම, වැඩිදියුණු කිරීම හා නව ක්ෂේත්‍ර හඳුනාගැනීම තුළින් ස්වකීය ව්‍යාපාරයන්ගේ අවශ්‍ය වෙනස්කම් ඉටුකර ගෙන ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවසායකයින් තවදුරටත් ඒ ඔස්සේ පෙළඹිය හැකිවේ.

මේ අනුව නව රජය අපේක්ෂිත ව්‍යුහාත්මක සහයෝගීතා වෙනස්කම් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්ව අරබයා ද යොමුවන්නේ නම් එය සමස්ථ රටවැසියාගේම භාග්‍යයකි. වෙනස් වන නව ගෝලීය ආරක්ෂණවාදී වෙළඳ උපාය මාර්ග හමුවේ සංවර්ධන මාවතකට අපගේ රට මෙහෙයවීමේ දී, ප්‍රජාවන්ගේ වැදගත්කම තහවුරුකරන මානව කේන්ද්‍රීය ප්‍රවේශයන් / Human-Centered Approach සැලකිල්ලට ගනිමින්, නව දේශීය කර්මාන්ත ප්‍රවර්ධන සංස්කෘතික හර පද්ධතියක් ගොඩනැගීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍රකුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Related Posts