පොහොට්ටුව මෙදා පාර මැයි රැළියට ගෝල්ෆේස් පිටිය මඟ හරී..

Spread the love

මෙවර මැයි රැළිය සැමරීම සඳහා ගෝල්ෆේස් පිටිය යොදාගැනීම ඉතා සූක්ෂ්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය විසින් මඟ හැර කටයුතු කර ඇතැයි වාර්තාවේ. එම පක්ෂය විසින් මෙවර මැයි රැළිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදෙන ලෙසට මෙවර කිසිඳු ඉල්ලීමක් සිදුකර නොමැත. මීට පෙර අවස්ථාවේදී ගෝල්ෆේස් පිටිය වැනි දෙකක් වුවත් පිරවිය හැකි බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර තම මැයි රැළිය ගෝල්ෆේස් පිටියේ පවත්වා ජනගඟ පෙන්වීමේ අවස්ථාව කිසිඳු පාර්ශවයකින් ඉල්ලා නැත. ඒ වෙනුවට පොහොට්ටුව මෙවර මැයි දිනය සඳහා කැම්බල් පිටිය යොදාගැනීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.

මීට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටුව ලබාගත් දැවැන්ත ජයග්‍රහණයේ උද්දාමය සහ ජනබලය මේ වන විට බිම්මට්ටමේ සිට ක්‍රමිකව සෝදාපාළුවට ලක්වීම බව පැහැදිලිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර වීමේ සිහිනය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වනදා ඉටුවීමත් ඒ තුලින් බලාපොරොත්තු වූ තරමේ වෙනසක් සිදු නොවීමත් මෙයට තවත් හේතුවකි. කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ මෙවර මැයි රැළිය ත්‍රිකුණාමලයෙන් පටන් ගෙන කොළඹ දක්වා වන පාගමනක් ලෙස අප්‍රේල් 26 වනදා සිට මැයි 01 වනදා දක්වා ප්‍රචාරණ ව්‍යාපාරයකට සමගාමීව සිදුකිරීමට සැලසුම් කොට ඇත.

එසේම මින් පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ගෝල්ෆේස් පිටිය පිරවූ පරිදි තම පක්ෂයද ගෝල්ෆේස් පිටිය පුරවා පෙන්වන බවට පුරාජේරු ගැසූ එක්සත් ජාතික පක්ෂය හීන් නූලෙන් එම අභියෝගය මඟ හැර ඇත. එජාපය මෙවර මින් පෙර අවස්ථාවන්ට වඩා වැඩි ජවයකින් මැයි රැළිය සංවිධානය කරමින් සිටින බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා කරයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවරද සුපුරුදු පරිදි කොළඹින් පිටතදී පවත්වන මැයි දින රැළිය සඳහා තෝරාගෙන ඇත්තේ ගම්පහ නගර සභා ක්‍රීඩාංගනය බවට වාර්තාවේ.

RSL

Related Posts