වෘත්තීකයින් හා විධායක නිලධාරීන් ව්‍යාපාර නායකයින් කරවන සුවිශේෂී MBA පාඨමාලාවක් SLIIT හඳුන්වා දෙයි

Spread the love

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වන SLIIT, පසුගියදා තම ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධි පාඨමාලාවක් (MBA) හඳුන්වාදුනි.

SLIIT ව්‍යාපාර පීඨය විසින් මෙහෙයවනු ලබන මෙම පශ්චාත් උපාධි පාඨමාලාව, 2018 ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත ය. ඒ හරහා සමීප කරගන්නා සමකාලීන ප්‍රවේශයන්, දැනුම හා කළමනාකරණ කුසලතා තුළින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය හා ලාභ නොලබන අංශයන්හි ද විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් හා කළමනාකාරුවන් ආදීන්ට තම තමන්ගේ ආයතන සඳහා වැඩි දායකත්වයක් සැපයීමට අවකාශ සැලසේ.

SLIIT ආයතනය මේ වන විටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලා පිරිනමයි.

නව MBA පශ්චාත් උපාධි පාඨමාලාව පිළිබඳ අදහස් දක්වමින් SLIIT ප්‍රධාන විධායක නිලධාරී සහ උප කුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. ‟අප විසින් මේ පිරිනමනු ලබන්නේ සුවිශේෂී MBA උපාධි පාඨමාලාවක්. අපි එය නිර්මාණය කළේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ අධ්‍යාපනවේදීන්ගේ පුළුල් සාකච්ඡා කිරීම් තුළින් ගත් තීරණ අනුවයි. එනිසාම අතිශය තරගකාරී සහ වෙනස්වන සුළු වර්තමාන ව්‍යාපාර ලෝකය තුළ, තිරසාර භාවය හා නවෝත්පාදනය සමඟ ගැටගැසුණු අභියෝගවලට සාර්ථකව මුහුණදිය හැකි න්‍යායාත්මක දැනුමින් වගේම විශ්ලේෂණාත්මක දැනුමින් හා කළමනාකරණ කුසලතාවලින් පරිපූර්ණ අනාගත නායකයින් බිහිකිරීමට එය උපකාරී වෙනවා”

නූතන ලෝකයේ ව්‍යාපාර නායකයින්ට මුණගැසෙන තීරණාත්මක අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවැසි ව්‍යාපාර භාවිතාවන්, ප්‍රධාන කළමනාකරණ විෂයන් නව්‍ය අංග හා එක්ව පිරිනැමීම SLIIT MBA උපාධි පාඨමාලාවේ විශේෂත්වයකි.

නව පාඨමාලාව හඳුන්වාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ කැනඩාවේ Carleton සරසවියේ Sprott ව්‍යාපාර පීඨයේ අලෙවිකරණ විෂය පිළිබඳ මහාචාර්ය සහ පර්යේෂණ හා ජාත්‍යන්තර සහකාර පීඨාධිපති මහාචාර්ය මයිකල් රොඩ් මහතා මෙසේ පැවසීය. ‟දිනෙන් දින ස්වාධීන බව වර්ධනය වන ලෝකයක, අපට අවශ්‍ය වන්නේ ඵලදායී ලෙස වෙනස්කම්වලට මුල පිරිය හැකි වගකීම් සහගත කළමනාකරුවනුයි. එනිසා මේ සුවිශේෂී අධ්‍යයන අත්දැකීම SLIIT හා එක්ව ගෙන ඒමට හැකිවීමත්, ඊට අපගේ කීර්තිමත් සරසවි ආයතන දෙකෙහි ප්‍රවීණත්වය හා දැනුම මුසුකිරීමට හැකිවීමත් පිළිබඳ අපි ඉතාමත් සතුටට පත්වෙනවා”.

නව MBA පාඨමාලාවේ දේශන සඳහා සහභාගී වන්නේ සුප්‍රකට මෙන්ම ඉහළ පිළිගැනීමක් ඇති දෙස් විදෙස් කථිකාචාර්යවරු මණ්ඩලයකි. ඒ තුළින් ද උත්තේජනය පිරුණු සහ අභියෝගකාරී ඉගෙනුම් අත්දැකීමක් සිසුන්ට හිමිවනු ඇත. ඊට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත ද නිරන්තරයෙන්ම සිසුන් හමු වී තම අදහස් බෙදාගැනීමට නියමිත ය.

SLIIT ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා ද නව පාඨමාලාව හඳුන්වාදෙමින් මෙසේ කරුණු දැක්වීය. ‟මෙම අලුත්ම MBA පාඨමාලාව සැලසුම් කිරීමේදී අපගේ ප්‍රධානම ශක්තීන් වන විධායක අධ්‍යාපනය හා අපගේ උපාධි තුළින් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සිදුව ඇති දැවැන්ත වෙනස එකට එකතු කිරීමට හැකිවීම විශාල සතුටක්. මේ පසුබිම තුළ පරිපූර්ණ ප්‍රවේශයක් තුළින් තම වෘත්තීය සාර්ථකත්වයට වැදගත් විශ්ලේෂණාත්මක, උපාය මාර්ගික සහ නායකත්ව කුසලතා දියුණු කරගැනීමට සිසුන්ට හැකිවන බව නිසැකයි”.

මෙම උපාධි පාඨමාලාවේ තවත් එක් විශේෂත්වයක් වන්නේ කැනඩාවේ Carlton සරසවියේ ව්‍යාපාර පීඨය හා එක්ව සිදුකරන සතියක වැඩමුළුවයි. එහිදී කැනඩාව බලාගොස් ව්‍යාපාර කළමනාකරණය හා තාක්ෂණය යන අංශයන්හි නවතම ප්‍රවණතා අත්විඳීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ.

පූර්ණ කාලීන වෘත්තිකයින්ගේ පහසුව සැළකිල්ලට ගනිමින් දෑවුරුදු පාඨමාලාවක් ලෙස සකසා ඇති මෙය, ඇගැයීම් සහ විභාග පදනම් කරගත් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන අතර දෙවැනි වසර අවසානයේදී පර්යේෂණ ව්‍යාපෘතියක් ද නිමකළ යුතුය. එමෙන්ම කොළඹ පිහිටි SLIIT Metro Campus හිදී මෙන්ම මාලබේ පිහිටි SLIIT ආයතනයේදී ද සතියේ දිනවල සවස සහ සති අන්ත දිනවල දේශන පැවැත්වේ.

මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයකින් ව්‍යාපාර පරිපාලනවේදය සම්බන්ධ මූලික උපාධියක් හෝ MBA සඳහා වලංගු වෙනත් උපාධියක් තිබීම අනිවාර්ය වේ. තව ද වෘත්තීය සුදුසුකම් ඇති සහ අවුරුදු දෙකක අත්දැකීම් සහිත අයට ද SLIIT අනුමැතියට යටත්ව ඊට ලියාපදිංචි විය හැක. සෑම අයදුම්කරුවෙකුම සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර එහිදී නිල උපාධි ප්‍රතිඵල සටහන ඇතුළු අවශ්‍ය ලේඛන ද ඉදිරිපත් කළයුතුය. සහනදායී මිලක් යටතේ මෙම උපාධි පාඨමාලාව පිරිනැමෙන අතර ඒ සඳහා බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ද පවතී.

MBA උපාධි පාඨමාලාව පිළිබඳ තොරතුරු පත්‍රිකාව සහ අයැදුම්පත්‍රය www.sliit.lk වෙබ් අඩවියෙන් හෝ ඕනෑම SLIIT මධ්‍යස්ථානයකින් ලබාගත හැක.

RSL

Related Posts