අගමැතිධුරයෙන් රනිල්ට ගෞරවාන්විත නික්ම යෑමක් සඳහා ශ්‍රීලනිපය ආරාධනා කරයි

Spread the love

අග්‍රාමාත්‍ය ධුරයෙන් ගෞරවාන්විත නික්ම යෑමක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කිරීම සඳහා ශ්‍රීලනිප මැති ඇමතිවරුන් මේ වන විට අරලිය ගහ අරලිගහ මන්දිරය වෙත යෑමට නියමිත බවට වාර්තාවේ.

හෙට(04) පැවැත්වෙන විශ්වාසභංගයෙන් පරාජයට පත්ව පරාජිතයෙකු ලෙස සමුගන්නවා වෙනුවට ගෞරවාන්විතව එම ධුරයෙන් ඉල්ලා අස්වී යන ලෙසට ඉල්ලීම සඳහා මෙලෙස ශ්‍රීලනිප ඇමතිවරු රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලා සිටීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ(02) රාත්‍රී පැවති විශේෂ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම ස්ථාවරයකට අනුව කටයුතු කිරීමට ද ඊයේ මධ්‍යම රාත්‍රී දක්වා පැවති එම සාකච්ඡාවේ දී එකඟ වී තිබේ.

මේ අතර ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරුන් අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක් පැවැත්විය.