තමා වටේ සිටින මැක්කන් වැනි රොත්ත පුරුත්ත විසින් තමාව බලහත්කාරයෙන් ඇඳගෙන ගොස් ජනාධිපතිවරණයට තල්ලුකොට අනාත කළ බවත්, තමාට ඇති ජනමතය අවබෝධ කරගැනීම තුළ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායක කම, විපක්ෂනායක කම හෝ අවම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වත් වුවමනා නැති බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගිය එම පක්ෂයේ ප්රබලයෙකු වන පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු පිරිසක් සමග අදහස් පල කරමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී තමන් මිලියන දෙසිය හැට ගණනක් ණය වූ බවත් එය ගෙවා ගත නොහැකිව මේ දිනවල දුරකථනය විසන්ධි කරගෙන සිටින බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ යයි උන්වහන්සේ පැවසූහ.
එසේ සිටින තමන්ට එජාප මන්ත්‍රී පිරිසක් පැමිණ නැවත කරදර කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර ඔවුන් හමුවී මෙම කරදරය නවතා දෙන ලෙස තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.