පක්ෂ 2ක්, න්‍යායන් 2ක්, ප්‍රශ්නයක් ආවාම අපි වාද-විවාද කරනවා; නොදන්න අය හිතනවා අපි රණ්ඩුවෙනවා කියලා

Spread the love

මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කියන්නේ න්‍යායන් දෙකක්. මත දෙකක්. දර්ශන දෙකක්. නායකයන් දෙපළක්. එහෙම දෙපිරිසක් එකට එකතුවෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිත් යෝජනා චෝදනා කරගෙන තර්ක විතර්ක කරගෙන ආණ්ඩුව කරගෙන යන්නේ. යම් යෝජනාවක් ආවම දෙපිරිස අතර සාකච්ඡා වෙනවා ඒකෙ හොඳ නරක ගැන. ඉතින් මේක බලාගෙන ඉඳලා කියනවා ඔන්න ආණ්ඩුවේ අය ගහගන්නවා කියලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කියලා. එහෙම නැහැ. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ පසුගියදා සූරියවැව අන්දරවැව ඉදි වූ 140 වැනි උදා ගම්මානය වන ‘සරුජයගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ඒ විතරක් නෙවේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතරත් ගැටුම් තියෙනවලු. මේ කෑ ගහන අය රටට දෙන්න හදනවා පණිවුඩයක්. මේ ආණ්ඩුව කැඳ හැළියක් කියලා. මේක දියාරු ආණ්ඩුවක් කියන මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා.

වෙනස ගැන අහන අයට මේ ආණ්ඩුවේ වෙනස මේ වෙනකොට හොඳටම තේරෙන්න ඕනේ. කෑ ගහන අයට මම කියනවා පසුගිය කාලේ තිබුණු ආණ්ඩු හා මේ ආණ්ඩුව සසඳලා බලන්න. හැබෑ වෙනස තේරුම් යයි එතකොට කියලා. ඉස්සර තිබුණු ආණ්ඩුවේදී නම් ලොක්ක තීරණයක් ගත්තොත් ගත්තම තමයි. ඇයි ඒකට විරුද්ධ වෙන්න, උපවාස කරන්න කාටවත් බෑ. ලොක්කගේ තීරණයට විරුද්ධව උපවාස කළොත් කෙළින්ම නවතින්නේ කනත්තේ. නමුත් අද එහෙම නෑ. අද රට තුළ සියලු දෙනාට නිදහස තියෙනවා. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙලා තියෙනවා.

එදා අධිවේගී මාර්ග හදනකොට, ගමේ නගරයේ පාරවල් හදනකොට කිසිම සද්දයක් නොකළ කිසිදු උපවාසයක් නොකළ අය අද පාරවල්වලට බැහැලා අපෙන් වන්දි ඉල්ලනවා. සූරියවැව අඩි 100 මාර්ගය හදනකොට එදා උපවාස නොකළ අය අද අට්ටාල ගහගෙන මාරාන්තික උපවාස කරනවා. අද මේ උපවාස කරන අයගෙන් එක්කෙනෙක්වත් එදා මහින්ද රාජපක්ෂට, නාමල් රාජපක්ෂට එරෙහිව කෑ ගැහුවෙවත් පෙළපාළි ගියේවත් විරෝධතා පැවැත්වුවේවත් නෑ. නමුත් එදා නිදාගෙන හිටිය අයත් අද නැඟිටලා කෑ ගහනවා. මෙන්න එදා සහ අද වෙනස.

එදා වගේ නෙවෙයි අද මේ රටේ ඕනෙම කෙනකුට ඕනෑම දෙයකට කතා කරන්න පුළුවන්. කවුරු කළත් වැරැදි දෙයක් නම් ‍දොස් කියන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. උද්ඝෝෂණ උපවාස විරෝධතා තියන්න පුළුවන්.

RSL

Related Posts