රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින් පැවසීය.
ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය එදා පියවර ගත් අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වුවත්, අද වන විට කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එය කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති ධනාභිමානී කාන්තා සම්මේලනය අමතමිනි.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම සම්මේලනය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“මේ රටේ කාන්තාවන් බලගැන්වීම සඳහා වැඩිම වැඩ කොටසක් සිදු කර තිබෙන්නේ අපේ ආණ්ඩුවයි. රටේ බහුතරයක් වන කාන්තාවන්, දේශපාලන, ආර්ථික සහ සමාජයීය ඇතුලූ සියලූ අංශයන්ගෙන් බලගැන්විය යුතුයි.
එහි එක් පියවරක් ලෙස අපි ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය ඉහළ දැමුවා. එම අවස්ථාවේ ඊට බොහෝ දෙනා විරුද්ධ වුණත් කෙසේ හෝ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා.
අපි කාන්තා නියෝජනය ඉහළ දැමූ නිසා අද කාන්තා නියෝජිතවරියන්ට එක් එක් පක්ෂවලින් ඉදිරියට ඒමට අවස්ථාව උදා වී තිබෙනවා. ධනාභිමානී වැඩසටහන ඔස්සේ කාන්තාවන්ට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා.
රටේ සෑම ප්‍රදේශයකම කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇරැඹිමට අපි පියවර ගෙන තිබෙනවා. එමෙන්ම විදේශ රැකියාවල නියුතුවූවන්ට නිවාස සෑදීම සඳහා මෙවර අයවැයෙන් සහන ක්‍රමයට ණය මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. කාන්තාවන් නගා සිටුවීම සඳහා මෙවැනි වැඩසටහන් ගණනාවක් අප ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.” යැය පැවසීය.