ක්‍රිකට් ගහන්න විශ්ව විද්‍යාලයේ යන්න ඕනේ නෑ, දකුණු ආසියාවේ හොඳම පාසල් ක්‍රමය අපි හදනවා – අගමැති

Spread the love

21 වන ශත වර්ෂයේ අභියෝගයන් ජයගත හැකි, එම ශත වර්ශයේ තාක්‍ෂණයට මුහුණ දිය හැකි හා ඒ ශතවර්ෂයට සරිලන පරිදි ජීවත් විය හැකි පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය නවීකරණයට ලක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තාක්‍ෂණ දැනුමෙන් හා අධ්‍යාපනයෙන් පරිපූර්ණ දකුණු ආසියාවේ හොඳම පාසල් ක්‍රමය මෙරට ඇති කිරීමට කැප වන බවත්, එවැනි අලූත් දැනුමක් නොමැතිව ඉදිරියට යා නොහැකි බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහනේ දෙවන අදියර යටතේ ඉදි කළ පාසල් 250 ක් විවෘත කිරීම නිමිත්තෙන් පේරාදෙනිය, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැති ජාතික උත්සවය අමතමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පේරාදෙනිය, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශ්‍රවණාගාරය සහ සුහුරු පන්ති කාමරය විවෘත කරනු ලැබීය.

උත්සව සභාවෙන් අනතුරුව ගුරු මධ්‍යස්ථාන හා විද්‍යා පිඨවලට අවශ්‍ය ලැප්ටොප් පරිගණක ඇතුලූ උපකරණ පරිත්‍යාග කිරීම ද සිදු කරන ලදී.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ අධ්‍යාපනයයි. මා පාර්ලිමේන්තුවට පැමිණි කාලයේ මේ බව මට ඉගැන්වූයේ අබ්දුල් හලීම් ඇමතිතුමාගේ මාමා වන ඒ. සී. එස්. හමීඩ් මැතිතුමායි. අධ්‍යාපනයට මුදල් වෙන් කරමින් අධ්‍යාපනය සංවර්ධන කළ යුතු බව එතුමා මට පැවසුවා. රටක් දියුණු වන්නේ ඒ අනුව බවයි එතුමා එදා ප්‍රකාශ කළේ.

අද අපි නොදකින තවත් වසර 20 කින් ඇති වන නව තාක්ෂණය භාවිත කළ හැකි, 21 වන ශත වර්ෂයට ගැලපෙන පරපුරක් අපි නිර්මාණය කළ යුතුයි. 

අලූත් පරපුරක් සහ අලූත් ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරගත යුතුයි. නව පරපුරක් හෝ නව දැනුමක් නොමැති නම් තාක්ෂණය සමඟ ඉදිරියට නොයනවා නම් අලූත් ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමෙන් පළක් නැහැ. 

එම නිසා අප මේ සිදුකරමින් සිටින්නේ අධ්‍යාපනය නවීකරණය කිරීමේ පළමු වැඩ කොටස බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අපේ ආණ්ඩුව යටතේ පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා. පාසල් ගොඩනැගිලි සහ අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා. ගුරුවරුන්ට පුහුණුව ලබාදීම, පාසල් සුපරීක්‍ෂණය කිරීම ආදියෙහි වගකීමත් අපේ රජය විසින් ඉටුකරමින්  සිටිනවා.