19ට අනුව ජනපතිගේ ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට අවසන් වන්නේ 2020 අගෝස්තු 17දා

Spread the love

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මීට පෙර ධුරකාලය පැවතියේ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අනුමතකළ දින සිට වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු දින සිට බව සඳහන් වී ඇතැයිද ඊයේ (25) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුරකාලය අවසන් වන්නේ 2020 අගෝස්තු 17 වැනිදා බවද හෙතෙම කීවේය. තමා මේ සඳහන් කරන්නේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බවත්, මේ පිළිබඳව කිසිවකුට ගැටලූවක් තිබේ නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවා බැලිය හැකි බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

මේ පිළිබඳ මතය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියහොත් ජනාධිපතිවරයාගේ ධුරකාලය දිගුකර ගැනීමට උත්සාහ කරන බව පවසමින් ඇතැමුන් මාරාන්තික උපවාස කළ හැකි බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-දිවයින-