දෙසතියක් ගෙවී යන්නටත් මත්තෙන් ජනපති ගෝඨාභයගේ රජය පළමු ජාත්‍යන්තර කළු පැල්ලම එක් කරගනී..!

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව දෙසතියක් ඉක්ම යන්නටත් මත්තෙන් රාජ්‍ය නායකයා මෙන්ම රටේ ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා වශයෙන් ඉතා බැරෑරුම් සහගත මකා දැමිය නොහැකි ජාත්‍යන්තර තලයේ කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එක්කොට ඇත.

ඒ මෙරට ආරක්ෂක මර්මස්ථානය වූ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ව බළහත්කාරයෙන් පැහැරගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිදුව ඇති නීතියක්, විනයක් නොමැති නොහොබිනා සිදුවීමක් වාර්තා වීමත් සමඟයි.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් රදවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය මීට ටික වේලාවකට පෙර නිල ප්‍රකාශයක් නිකුත් කළේ ය.

ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස නාඳුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බවයි.

මෙය සිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයට සහ එහි සේවකයින්ට එල්ල කළ බරපතළ හා පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස ස්විට්සර්ලන්තය සලකන බවද අදාළ නිවේදනයේ සඳහන් ය.

මේ පිළිබඳව තමන් ශ්‍රී ලංකා බලධාරින්ගෙන් කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටින අතරම සිය තානාපති කාර්යාල නිලධාරින්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඔවුන් සිය නිවේදනයේ දක්වා තිබේ.

වැරදිකරුවන් නීතිය හමුවට පමුණවනු ඇතැයි සිය අපේක්ෂාව බවද එහි සඳහන් ය.

මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් දැනුවත් කර ඇති බවත්, සිය තානාපතිවරයා එරට කැඳවූ බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.