ජනාධිපති කොමිසම ලද පැමිණිලි ගණන 600 ඉක්මවයි
- RSL
- March 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Commission
- 0 Comments
2015 වසරේ ජනවාරි 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මේ වන විට පැමිණිලි 610ක් පමණ ලැබී ඇති බව එම කොමිසම පවසා සිටියි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොමිෂන් සභාවේ පෙත්සම් ලබාගැනීමේ කාලය ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම හේතුවෙන් පැමිණිලි ඉදිරිපත්වීම වැඩි වී ඇති බවය.
මේ වන විට කොමිෂන් සභාව විසින් ලැබුණු පැමිණිලි අතරින් පැමිණිලි 320ක් මූලික විමර්ශනයට භාජනය කර ඉන් පැමිණිලි 15ක් පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් ඒකකයට භාරදී ඇත.
ඊට අදාළව පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම් ද මේ වන විට සිදුකරමින් පවතින බව ජනාධිපති කොමිසම සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමේදී සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මේ වන විටත් කටයුතු කර ඇත.
මීට අමතරව ජයවර්ධනපුර රෝහලේ හිටපු අධ්යක්ෂවරයා විසින් සිදුකර ඇති බව කියන මහ පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව එහි කැදවුම්කරු වසන්ත සමරසිංහගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වෙයි.
එමෙන්ම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ඉදිරියේදී වෛද්‍ය හරිත අලුත්ගේ ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිත බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කරනු ලබයි.

