මහා මණ්‌ඩල සැසියේ ජනාධිපති දේශනය අද

Spread the love

එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 72 වැනි සැසිවාරය අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19 දා) සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතය.

නිව්යෝර්ක්‌ නුවර ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

“ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක්‌ මත සැමදෙනා හට වැදගත් ජීවිතයක්‌ සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම” තේමාව යටතේ එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩලයේ 72 වන සැසිවාරය නිව්යෝර්ක්‌හි පිහිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධාන මූලස්‌ථානයේදී පැවැත්වේ.

එහි ප්‍රධාන සැසිවාරය අද ආරම්භ කෙරෙන අතර එදින පස්‌වරුවේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩල සැසිවාරය අමතන 3 වන අවස්‌ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත් “2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය” ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳවද මෙම සැසිවාරය තුළදී ජනාධිපතිවරයා විසින් ලෝක නායකයන් දැනුවත් කරනු ඇත. එමෙන්ම සැසිවාරයට සහභාගී වන ලෝක නායකයන් රැසක්‌ සමග ජනාධිපතිවරයා ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩලයේ 72 වන සැසිවාරය ඇරැඹීමට ප්‍රථමයෙන් අද උදැසන පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කවුන්සිලයේ (ECOSOC) දේශපාලන ප්‍රතිසංස්‌කරණ පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.

සැප්තැම්බර් 23 වැනිදා දක්‌වා සිදුකෙරෙන සිය ඇමරිකානු නිල සංචාරය තුළදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවකට මෙන්ම තවත් වැඩසටහන් රැසක්‌ සඳහාද ජනාධිපතිවරයා එක්‌වීමට නියමිතය.

RSL

Related Posts