අල්ලස, දූෂණය මුලිනුපුටා දැමීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා – ජනාධිපති

Spread the love

රාජ්‍ය සේවයේ මෙන්ම අනෙකුත් සියලු අංශවල තිබෙන දූෂණය සහ අල්ලස වැළැක්‌වීමට සහ මුලිනුපුටා දැමීමට රජයක්‌ ලෙස ගතයුතු සියලු තීන්දු තීරණ නොපැකිළිවම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

අල්ලස සහ දූෂණය වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව සහ කිසිවකුට සමාවකින් තොරව නීතිය නිසි ලෙසම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පෙරේදා (05 දා) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරීම් උත්සවය අමතමිනි. මෙහිදී අදහස්‌ දැක්‌වූ හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනතාවගේ වෛරය, ද්වේෂය හා පිළිකුලට ලක්‌වන අයුරින් කිසිදු අවස්‌ථාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් වැඩ නොකළ යුතු බවයි. එමෙන්ම යහපත් මෙන්ම නිවැරදි සමාජයක්‌ ගොඩනැගීමට රාජ්‍ය සේවය සෑම විටම අල්ලසින් තොරව විය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

තමා ඇමැතිවරයකුව කටයුතු කළ අවධියේ මෙන්ම ජනාධිපති ධුරයේ ඉකුත් වසර 03 පුරාවට ද අල්ලස දූෂණය, වංචාව, සොරකම, නාස්‌තිය සහ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්‌වීම වෙනුවෙන් කිසිදු බේදයකින් තොරව ගතයුතු සියලු තීන්දු තීරණ ගත් බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මහ බැංකුව පිළිබඳ පත්කළ ජනාධිපති කොමිසමේ කටයුතු නිසි ලෙස ඉදිරියට ක්‍රියාත්මක කළා සේම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමද ඉදිරියේදී බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර එම්. පී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

කරුණාරත්න ගමගේ