පොලිස් කොමිසමේ ලේකම් ජ’පුර රෝහලේදී අත්අඩංගුවට

Spread the love

ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ප‍්‍රතිකාර සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව සිටියදී එහි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට කළ දැනුම් දීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී හෙතෙම කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත අපේක්‍ෂිත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කර තිබිණි. එය සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (17 වැනිදා* එම ඇප අයැදුම ප‍්‍රතික්ෂේප කළේය.

මේ සමගම පෙරේදා නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් සමන් දිසානායක මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අදට (19 වැනිදාට) පෙර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට නියෝග කර තිබුණි.

අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.