
පවතින කොවිඩ් තත්ත්වය මැද මෙරට සංචරණ සීමා පසුගිය 21 වන දින උදෑසන ඉවත් කළද තවදුරටත් දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට රජය තීරණය කළේය.
මේ අතර ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කෙරෙහි ද බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව තිබිණි. වෙසෙසින්ම කොවිඩ් තත්ත්වය පාලනය ඇතුළු රජයේ වියදම් සදහා රු බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත්ව තිබීමත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබීමත් මීට ප්‍රධාන හේතුවිය.
කොවිඩ් තත්ත්වය මැද ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයතු පිළිබද කාරක සභාව පසුගිය 21 වන සදුදා දින පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තුවේ ගරු සභානායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා කාරක සභාවේ අවධානය යොමු කළ අතර එය ජූලි පළමු සතියේ දෙවනවර කියැවීම සදහා ඉදිරිපත් කිරීමට කාරක සභාව එකග විය. ජාතික ජන බලවේගයේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසා සිටියේ 2020 වසර සදහා වන මහ බැංකු වාර්තාව පිළිබද සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට කාරක සභාව මිට පෙර එකග වූ බැවින් ඒ සදහා අවස්ථාව ලබා දියයුතු බවයි. මේ අනුව ජූලි මාසයේදී ඒ සදහා අවස්ථාව ලබා දෙන බව ගරු සභානායකවරයා පැවසීය.
කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේන් අනතුරුව සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ජූනි 22 සහ 23 දිනවල පමණක් රැස්වීමට තීරණය විය. ඒ අනුව ජූනි 22 වන දින ශ්‍රී ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනීමට කාරක සභාව එකග විය.
එසේම ජූනි 23 වැනිදා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යොජනාවක්ද, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි 02ක් ද රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට සහ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්තමේන්තුවද විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය විය.
තවද දින දෙකේදීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වෙන් කිරීමටද , ඉන්පසු පස්වරු 4.50 සිට පස්වරු 5.30 දක්වා අඟහරුවාදා ආණ්ඩු පක්ෂය සහ බදාදා විරුද්ධ පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටද මන්ත්‍රීවරු එකග විය.
මේ අතර ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කාරක සභාවදී අදහස් දක්වමින් පවසා සිටියේ චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට ගතවන කාලය වැඩිවන වන බැවින් කාලීන වශයෙන් වැදගත් ප්‍රශ්න පාර්ලිමේන්තුවට යොමුකිරීමට මන්ත්‍රීවරයන්ට ලැබෙන අවස්ථාව සීමා වී ඇති බවයි.
මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට මාස දෙක තුනක කාලයක් ගන්නා බවයි.
මෙම වාචික පිළිතුරු අපේක්ෂ කරන ප්‍රශ්න සදහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන තුරු සභාව කල් තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න සංඛ්‍යාව වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස මෙහිදී ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගරු කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුවේ ගරු සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේ එකම මන්ත්‍රීවරයන් කිහිප දෙනෙක් විසින් සෑම දිනකම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඉදිරිපත්කරන බව දක්නට ලැබෙන බැවින් ඒ සදහා සෑම මන්ත්‍රීවරයන්ටම අවස්ථාව හිමිවිය යුතු බවයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සංඛ්‍යාව වැඩි කළද පිළිතුරු ලබා දීම සදහා අමාත්‍යවරයෙක්ට ලැබෙන කාලය සීමා සහිත වන බවයි. එබැවින් මේ පිළිබදව ඉදිරියේදී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බවද ඒ මහතා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු රැස්වීම් දැනට ආරම්භ වන වේලාව වන පෙ.ව 10.00 , පෙ.ව 9.00 ලෙස වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබදව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කමිටුවේ අවධානයට යොමු කළේය. මෙහිදී ගරු සභානායකවරයා මෙන්ම ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද ප්‍රකාශ කර සිටියේ වත්මන් කොවිඩ් තත්ත්වය සහ උදෑසන කාලයේ පවතින අධික මාර්ග තදබදය හේතුවෙන් එසේ වේලාව පැයක් ඉදිරියට ගැනීම අපහසුවනු ඇති බවයි.
රජයේ මුදල් පිළිබද කාරක සභාව මාර්ගත ක්‍රමයට රැස්වෙයි
මේ අතර මෙදින පෙරවරුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් එම රැස්වීම සදහා රාජ්‍ය නිලධාරීන් මාර්ගස්ථ ක්‍රමවේදයට (Online) අනුව සම්බන්ධ කරගැනීම සිදුවිය.
දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුප පැස්කුවල් , මහාචාර්ය රංජිත් බණ්ඩාර, නලින් ප්‍රනාන්දු සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර් ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාව වන රු. බිලියන 2000 ක අගය රු. බිලියන 3000 දක්වා වැඩිකිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි. එසේම එම මුදල ඉදිරි මාස 06 තුළ වියදම් කරන බව ඉන් අදහස් නොවන බවත් පාර්ලිමේන්තුව අනුමත කළ ණය ගැනීමේ සීමාව තුළ මේ සියල්ල කළමනාකරණය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පසුගිය ජූනි 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රෙගුලාසි ද්විත්වයක් සදහා ද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන සදහා බදු සහන ලබාදී ඇති පසුබිමක බොහෝවිට එම අවස්ථාව අවභාවිත කරන බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කරුණු දක්වමින් කාරක සභාවට පැහැදිලි කර සිටියේය.
විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන ඉන් අනතුරුව සාමාන්‍ය වාහන ලෙස භාවිත කරන බව මේවන විට හදුනාගෙන ඇති බැවින් එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය වසර තුළ පමණක් අධිශීතකරණ සහිත ලොරි රථ (Freezer trucks) 947 ක් මෙරටට ආනයනය කර ඇති බව ද ඒවා බොහෝමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්‍ය ලොරි රථ ලෙස භාවිතකරන බවට තොරතුරු වාර්තා වන බවද ආටිගල මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව මෙම රෙගුලාසි මගින් අදාළ බදු මුදල් සංශෝධනයට පියවර ගෙන ඇත.
මෙරටට මාජරින් ගෙන්වීමේ ක්‍රමවේදය තුළද මෙලෙස යම් යම් තාක්ෂණික කාරණා මත බදු මුදල් අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව කාරක සභාවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඉදිරියේදී නව ක්‍රමවේදයක් යටතේ මෙය සිදුකිරීමට අපේක්ෂා කරන බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට පැවසීය.
මේවන විට රට ආර්ථික ගැටලුවක ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා සිටියේය. පවතින තත්ත්වය තුළ යම් ආර්ථික ගැටලු මතුවුවද ඒ සියල්ල මනා ලෙස කළමනාකරණය කිරීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.
තවද අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සඳහා වැටුප් සහ දීමනා වැඩි කිරීමේ යෝජනාව නිසිපරිදි හේතු නොදැක්වීම හේතුවෙන් පසුගිය කාරක සභාවේදී ප්‍රතික්ෂේප වුවද අදාළ හේතු සලකා බැලීමෙන් අනතුරුව මෙදින පැවති කාරක සභාවේදී ඊට අනුමැතිය හිමිවිය.
මැතිවරණනීති රීති ප්‍රතිසංස්කරණය පිළිබද කාරක සභාව රැස්වෙයි
මේ අතර මෙදින පස්වරුවේ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති සංශෝධනට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මෙහිදී කාරක සභාව තීරණය කළේය. ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති ගරු සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේය.
මේ වන විට කාරක සභාව වෙත ලැබි ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 94 ක් බවද කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය මෙහදී සඳහන් කළාය.
සිදු කෙරෙන මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ජන්ද ක්‍රමයට අනුව පැවැත්වීමටද කාරක සභාවේ අදහස විය. එම මූලධර්මය පදනම් කරගනිමින් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමයේ වෙනසක් සිදුකළ යුතු බවටද කාරක සභාවේදී සාකච්ජා විය.
මෙහිදී අදහස් දක්වමින් ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාෙද්වි වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ මැතිවරණ හා ඡන්ද නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී කාන්තාවන්ට, පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වල නිසි නියෝජනයක් ලැබෙන ලෙස එම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි.
මෙරට මහජන නියෝජිත ආයතන නියෝජනය කරන කාන්තාවන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ඉතා පහළ අගයක් ගන්නා බව පැවසූ වන්නිආරච්චි මහත්මිය ආසියාවේ සෙසු රටවල් ශ්‍රී ලංකාව අභිබවා ඇතැයිද සඳහන් කළාය.
එමෙන්ම තේරීම් කාරක සභාවක් නියෝජනය කිරීමට මන්ත්‍රීවරියන්ට ඇති අවස්ථාව ඉතා අවම බවත් , තමන් මෙම කාරක සභාවට පත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මැතිවරණ කොමිෂන් සභාව සහ පැෆරල් සංවිධානය කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ඉල්ලීමක් කර ඇති බව කාරක සභාවේ සභාපතිවරයා රැස්වීමේදී සදහන් කළ අතර ,ඊට අවස්ථාව ලබා දීමටද කාරක සභාව එකඟ විය.
යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශ්වයන් ඒ සඳහා යථා කාලයේදී කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට කැඳවන බව ද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී කීවේය.
ගරු කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, එම්. යූ. එම්. අලි සබ්රි, යන මහත්ම මහත්මීන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන අනුර දිසානායක,කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගි වූහ.
ඉඩම් සංස්ථා සංවර්ධන පනත් කෙටුම්පත සදහා ඉඩම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගතාවය
මේ අතර මෙදින පස්වරුවේ ගරු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ශ්‍රී ලංකා ඉඩම් සංස්ථා සංවර්ධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී තීරණය විය.
කාරක සභා සාමාජිකයින් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න හා චින්තක අමල් මායාදුන්න යන මහත්වරුන් ද මීට සහභාගී වූහ. එසේම ඉඩම් අමාත්‍යංශ නිලධාරීන් මාර්ග ගත ක්‍රමය හරහා සම්බන්ධකරගෙන මෙම රැස්වීම පැවැත්වුණි.
ඉඩම් අත්කරගැනීමේ පනත යටතේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය අත්කරගන්නා පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් රජය වන්දි ලබාදීමේදී එම මුදලට එකඟ නොවන අවස්ථාවලදී ඇති වන තත්ත්වයන් පිළිබද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. මෙවැනි අවස්ථාවලදී විවිධ රෙගුලාසි පදනම් කරගනිමින් නැවත සලකා බැලීමේදී වන්දි ලාභීන්ට මුහුණදීමට සිදුවී ඇති විවිධ විෂමතා සැලකිල්ලට ගෙන වන්දි ගෙවීම සඳහා පොදු ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ අනුව 2007 වසරේ වන්දි ගෙවීම පිළිබඳ ජාතික ප්‍රත්පත්තිය සකස් වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර දුන්නේය.
ඒ අනුව අවස්ථා කිහිපයකදී මෙම රෙගුලාසි සංශෝධනය වී ඇති බවත් 2013 වසරේ ඉඩම් අත්කරගැනීමේ රෙගුලාසි පදනම් කරගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් මෙය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
රු බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට
ඉකුත් සතියේ 22 සහ 23 දෙදින රැස්වූ පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයද ඉහළ මට්ටමක පැවතිණි. ජූනි 22 වන දින මන්ත්‍රීවරු 201 (90%) දෙනෙක්ද ජූනි 23 වන දින මන්ත්‍රීවරු 202 (90%) දෙනෙක්ද පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගීව තිබිණි.
පවතින කොවිඩ් තත්ත්වය මැද සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් පාර්ලිමේන්තුව පසුගිය 22 වන අගහරුවාදා දින පෙ.ව 10.00 ට රැස්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව, “2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් – 19) (තාවකාලික විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර සිටියේය.
මේ අතර රුපියල් බිලියන 200ක වටිනාකමින් යුත් 2012 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරිමට ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් යෝජනා කරන ලදී.
එයට අමතරව 2020 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවද අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමු කිරීමට යෝජනා විය.
එදින චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යටතේ පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය තුළ මන්ත්‍රීවරයන්ට ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාව හිමිවූ අතර ඉන් අනතුරුව ස්ථාවර නියෝග 27(2) ප්‍රශ්න යටතේ ජාතික ජනබලවේගයේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් මෙරට එල්පී ගෑස් පාරිභෝගිකයන්ට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයේ ප්‍රමාණය වෙනස් කිරීමෙන් විශාල අසාධාරණයකට මුහුණ දෙන්නට සිදුවූ බව ප්‍රකාශ කරන ලදී.
මීට පිලිතුරු දෙමින් ගරු වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ගෑස් සිලින්ඩරයේ මෙම වෙනස් කිරීම්වලට පාරිභෝගික සේවා අධිකාරිය කිසිදු අයුරකින් අවසර ලබා දී නොමැති බවත් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුව ඇති බව තමා පිළිගන්නා බවත්ය.
මේ අනුව 2021.06.09 වන දින 2231/8 අති විශේෂ ගැසට් නිවේදනය මඟින් සෑම අලෙවිහලකම 12.5 ක සිලින්ඩර් විකිණීමට තිබිය යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අමතරව මෙම නීතිය කඩ කරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට දැනුම්දී තිබෙන බවත් පැවසීය. දැනටමත් මේ පනතේ විධිවිධාන අනුව ලිට්‍රෝ ගෑස් සමාගමට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩුවක් පවරා ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය..
අමාත්‍යාංශ නිවේදන යටතේ අදහස් දක්වමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ අධිකරණ පද්ධතිය සහ බන්ධනාගාර තුළ විශාල තරුණ පිරිසක් යම් යම් ප්‍රමාද වීම් නිසා ඇප ලබා ගැනීමට නොහැකිව මෙන්ම තමන්ගේ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකිව සිටින බවයි. ඒ අතර එල්ටීටීඊ ත්‍රස්තවාදී සැකකරුවන් විශාල පිරිසක් බන්ධනාගාර ගතව සිටින බවත් මෙම පිරිස අතර නඩු නිමිත්තක් නොමැති පිරිසකුත් සිටින බවත් පෙන්වා දුන්නේය. මෙහිදි අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි.
එසේම මෙම යෝජනාව සම්බන්ධව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජී. ජී. පොන්නම්බලම් ඇතුළු මැති ඇමතිවරුන්ගේ අදහස්වලින් සභාගැබ උණුසුම් විය.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි
මෙදින ප්‍රධාන වැඩකටයුතු යටතේ ඉඩම් අමාත්‍ය එස් .එම් චන්ද්‍රෙස්න මහතා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
1968 අංක 15 දරන ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධනය කිරීම පිණිස මෙම කෙටුම්පත ගෙනෙනු ලැබීය. 2021 පෙබරවාරි 10 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 8 වන දින ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඉඩම් සම්බන්ධයෙන් නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයක පවරනු ලබන නඩු විභාගයකින් වරදකරුවන් වුවහොත් පනවන දඩ මුදල හා බන්ධනාගාර ගත කරනු ලබන කාල සීමාව නිශ්චිත දැක්වීම මෙම පනත් කෙටුම්පත නීතිමය බලපෑම වේ.
මීට අමතරව ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග ද ඉදිරිපත් කරමින් ගරු ඉඩම් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඉඩම් අත්පත් කර ගැනීමේදී ජනතාවට වන්දි මුදල් ගෙවීම මේ සංශෝධනයෙන් වඩාත් විධිමත්ව කඩිනමින් සිදු කිරීමට හැකිවනු ඇති බවයි.
මේ වන විට ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති හයක් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී එම ජනතාවට ලැබිය යුතු වන්දි නිසි පරිදි ලැබීම සඳහා අවකාශය හිමිවන බව පැවසූ අමාත්‍යවරයා මහා මාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, විදුලි බල අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති යටතේ අත්පත් කරගන්නා ඉඩම් සදහා මෙලෙස නිසි පරිදි වන්දි මුදල් හිමි වන බව පැවසීය.
මේ වන විට ඉඩම් අත්පත් කර ගැනීමේ දී බොහෝවිට නිසි පරිදි තක්සේරුවකින් නියම වන්දි මුදල නොලැබෙන බවටත් බොහෝ කල් ගතවන බවටත් ජනතාව නිරන්තරයෙන් දුක් ගැනවිලි පවසන බැවින් මෙම සංශෝධනය මගින් ඉදිරියේදී මෙම තත්ත්වය මගහරවා ගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා පැවසීය.
මීට අදාළ 2021 මාර්තු 18 දිනැති අංක 2219/56 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පහත වෙබ් ලිපියෙන් බාගත හැකිය.
http://www.documents.gov.lk/files/egz/2021/3/2219-56_S.pdf
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සංවර්ධන ව්‍යාපෘතිවලදී ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රමවේදයේ ගැටලු සහ වඩාත් විධිමත්ව මෙම ක්‍රියාවලිය ඉටුකිරීම පිළිබද පළ කළ අදහස්වලින් විවාදය උණුසුම් විය. ප.ව 4.30 දක්වා පැවති විවාදය අවසානයේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මතවූ අතර ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග සදහාද අනුමැතිය හිමිවිය.
මෙදින සභාව කල් තැබීම ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාසමාණික්කම් මහතා සහ ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කොවිඩ් තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අභියෝග පිළිබද සිදු කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්විණි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතව තිබීම හේතුවෙන් එදින පාර්ලිමේන්තුව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් හිමිවූ එකම අසුන ලෙස ජාතික ලැයිස්තුවෙන් හිමිවූ එම ආසනය සදහා අදාළ මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න පිළිබද විවිධ කතා බහ සමාජය තුළ පසුගිය කාලයේ ඇතිවිය. මේ අනුව එක්සත් ජාතික පක්ෂය විසින් අදාළ මන්ත්‍රීවරයා නම් කොට මැතිවරණ කොමිෂන් සභාවට දැන්වීමෙන් පසු අදාළ ගැසට් පත්‍රය පළ කිරීම සිදුවිය. මේ අනුව 9 වන පාර්ලිමේන්තුව ආරම්භයෙන් ආසන්න වශයෙන් මාස 10 කට පසු මෙම මන්ත්‍රී අසුනේ පුරප්පාඩුව සම්පූර්ණ විය.
මේ අනුව ඉකුත් 23 වන දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගරු කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම සිදු විය. හිටපු අග්‍රාමාත්‍යවරයෙක් බැවින් ජේෂ්ඨත්වය අනුව වික්‍රමසිංහ මහතාට ඉදිරිපෙළ 13 වන අසුන වේත්‍රධාරීවරයා විසින් වෙන් කර තිබිණි.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් මෙදින පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැබේ පැවති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් හේතුවෙන් සභා ගැබ උණුසුම් විය. මෙම තත්ත්වය නිසා ගරු විපක්ෂ නායකවරයා විසින් 27(2) යටතේ විමසන ලද ප්‍රශ්නයට, බාධා කිරීම් සහ ඝෝෂා කිරීම් මැද පිළිතුරු දීමට ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදුවිය.
මෙදින වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේ දේශපාලන පලිගැනීම් සම්බන්ධ කමිටු වාර්තාවේ ඉංග්‍රීසි පරිවර්තනය තමා ඉල්ලා සිටියද එය නොලැබුණ බවයි. එසේම දමිළ පරිවර්තනයේද ඇතැම් කොටස් නොමැති බවද ඔහු ප්‍රකාශ කර සිටියේය. මේ සම්බන්ධව ඉදිරියේදී සොයා බලා පියවර ගන්නා බව ගරු කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
මෙදින ප්‍රධාන වැඩකටයුතු යටතේ වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්,
පරිපූරක ඇස්තමේන්තු, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ප්‍රකාශන දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ සදහා සභාවේ අනුමැතිය ඉල්ලා සිටියේය.
දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවකි.
මේ සම්බන්ධ විස්තර 2021.06.23 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ දිනට නියමිත වැඩකටයුතු යටතේ *1 යටතේ (පිටු අංක 06 ) සදහන්ව ඇති අතර පහත දැක්වෙන දිගුව ඔස්සේ එය බාගත කර ගත හැකිය.
තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පසුගිය ජූනි 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රෙගුලාසි ද්විත්වය මගින් විශේෂ කාර්යන් සදහා ආනයනික වාහනවලට අදාළව බදු සංශෝධනයක් සිදු කොට ඇත.( මේ පිළිබද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ විග්‍රහයක් ‘මුදල් කාරක සභාව මාර්ගගත ක්‍රමයට රැස්වේ’ යන කොටසෙහි අන්තර්ගත වේ).
මීට අදාළ ගැසට් පත්‍ර පහත වෙබ් ලිපිනයන්ගෙන් බාගත හැකිය.
http://www.documents.gov.lk/files/egz/2021/4/2224-43_S.pdf
http://www.documents.gov.lk/files/egz/2021/4/2224-44_S.pdf
රු බිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණේ රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට සහ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා අවශ්‍ය වියදම් සදහායි. මේ සම්බන්ධ විස්තර 2021.06.23 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ දිනට නියමිත වැඩකටයුතු යටතේ *4 යටතේ (පිටු අංක 07 ) සදහන්ව ඇති අතර පහත දැක්වෙන දිගුව ඔස්සේ එය බාගත කර ගත හැකිය.
https://www.parliament.lk/uploads/documents/orderpapers/1624361924091454.pdf
මීට අමතරව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ප්‍රකාශන දෙකක් අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබිණි.ඊට අදාළ ගැසට් නිවේදන පහත වෙබ් ලිපිනයෙන් බාගත කර හැකිය.
http://www.documents.gov.lk/files/egz/2021/6/2232-31_S.pdf
http://www.documents.gov.lk/files/egz/2021/6/2232-40_S.pdf
රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කාරණා පිළිබද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුවරුන්ගේ වාද විවාදයන්ගෙන් පාර්ලිමේන්තු සභා ගැබ උණුසුම් වූ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පිළිතුරු කතාවෙන් අනතුරුව උක්ත අනු නීති සහ යෝජනා සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
එදින සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා ද මුජිබුර් රහුමාන් මහතා ද ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා ඉදිරිපත් කළ වර්තමානයේ තේ වගාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබද සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් දැක්වීම සිදු කළහ.
අනතුරුව පාර්ලිමේන්තුව ලබන ජූලි මස 6 වන දින දක්වා කල් තැබිණි.