දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන්නැයි උතුරේ හර්තාල්

Spread the love

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත පුරා ඊයේ (13) ක්‍රියාත්මක කර තිබූ හර්තාල් ව්‍යාපාරය නිසා සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබිණි.

LTTE සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා කෙනකු බව කියන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. ශිවාජිලිංගම් ඇතුළු සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් කීපයක්‌ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කරන ලදි.

ඒ අනුව යාපනය, කිලිනොච්චි, පේදුරුතුඩුව, වව්නියාව, මන්නාරම පොලිස්‌ කොට්‌ඨාසවල මෙම හර්තාල් ව්‍යාපාරය ඊයේ (13) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කර තිබිණි.

මෙම ප්‍රදේශවල සියලුම වෙළෙඳසල්, කාර්යාල, රජයේ ආයතන වසා දමා තිබූ අතර පොදු වාහන සේවය ද ඉතාම පහළ මට්‌ටමක පැවතිණි.

වවුනියාව නගරයේ පාසල් විවෘත කර තිබුණ ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම දුර්වල මට්‌ටමක පැවති බව අධ්‍යාපන බලධාරීහු කියා සිටියහ.