පොහොට්‌ටුවේ 6 ක්‌ ශ්‍රීලනිපයේ 2 ක්‌ නාම යෝජනා ප්‍රතික්‌ෂේපයි

Spread the love

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නාම යෝජනා පත්‍ර 2ක්‌ ඊයේ (14 දා) ප්‍රතික්‌ෂේප කර ඇත.

පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම ඊයේ මධ්‍යහ්න 12.00 ට අවසන් වූ අතර එහිදී ඉදිරිපත් වූ විරෝධතා සැලකිල්ලට ගෙන නාම යෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප කිරීමට දිස්‌ත්‍රික්‌ තේරීම් භාර නිලධාරීන් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල, මහියංගනය, අගලවත්ත, වැලිගම ප්‍රාදේශීය සභා හා පානදුර හා මහරගම නගර සභා සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප කර ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙහිඅත්තකණ්‌ඩිය හා පදියතලාව ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍ර ද ප්‍රතික්‌ෂේප වී තිබේ.

නාවලපිටිය නගර සභාවට එක්‌සත් ජාතික පක්‌ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ එක්‌a අපේක්‌ෂකයකුගේ නමක්‌ හා දෙහිවල ගල්කිස්‌ස මහ නගර සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ එක්‌ අපේක්‌ෂකයකුගේ නමක්‌ ද ප්‍රතික්‌ෂේප වී තිබේ.

මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්‌ෂ 20 ක්‌ තරග කිරීමට නාම යෝජනා පත්‍ර භාරදී තිබේ. එක්‌සත් ජාතික පක්‌ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්‌ති පෙරමුණ, ජනසෙත පක්‌ෂය, එකමුතු ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය, නව සිහල උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ලංකා සමසමාජ පක්‌ෂය, මුස්‌ලිම් ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසුකච්චි, දෙමළ මහජන විමුක්‌ති කාමී පක්‌ෂය එම පක්‌ෂ අතර වෙයි.

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ලේඛනයේ සාමවිනිසුරු සහතික කළ දිනය ඉදිරියට එළඹෙන දිනයක්‌ යොදා තිබීමත්, පානදුර නගර සභා ලේඛනයේ අදාළ සහතිකයට දිනය ඇතුළත්ව නොතිබීමත් මහරගම නගර සභා ලේඛනයේ ඉන්නා නියෝජනය සම්පූර්ණ නොවීම හා අපේක්‍ෂිකාවකගේ නම ඉදිරියේ ‘පිරිමි’ ලෙස සටහන්ව තිබීමත් වැලිගම නගර සභාවේ ලේඛනය බලයලත් නිලධාරියා හැර වෙනත් අයකු භාරදීමත් යන කරුණු මත ප්‍රතික්‌ෂේප වී තිබේ.

පළාත් පාලන ආයතන 93 සඳහා නාම යෝජනා පත්‍ර 557 ක්‌ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් භාරදී තිබුණේ නාම යෝජනා පත්‍ර 517 කි.

RSL

Related Posts