Mpox (monkeypox) සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

Spread the love

ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mpox (monkeypox) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mpox (monkeypox) රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

එමෙන්ම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව Mpox (monkeypox) රෝගින් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම්ද පවතින බවත්, පසුගිය 20 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේදී මෙම රෝගයට වඩාත් හොදින් සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීමද ලබාදුන් බවත්, මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක්ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බවද ඒ මහතා පවසයි.

අප්‍රිකානු කළාපයේ ප්‍රධාන ලෙස, මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපීය රටවල විශේෂයෙන් කොංගෝ රාජ්‍යයේ බෝවීමේ හැකියාව සහ දරුණු බව වැඩි, රෝගීන් වැඩි ගණනක් වාර්තා වීම නිසා, ගෝලීය මට්ටමින් සංවිධානාත්මක ලෙස පෙර සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා, 2024 අගෝස්තු 14 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජාත්‍යන්තර අවධානය ලක් කළ යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළ බවත්, මේ වන විට ආසියානු කලාපීය රටවලින් රෝගය වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බවද සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

Mpox (monkeypox) රෝගය Mpox (monkeypox) වෛරසය නිසා ඇති වන බවත්, අසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ, දිගු කාලයක් පුරා ශ්වසන බිදිතිවලට නිරාවරණය වීමෙන්  Mpox (monkeypox) රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැතිරීමේ අවධානම අඩු මට්ටමක පවති. තවද අසාදිත පුද්ගලයෙකු භාවිතා කරන ලද ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මගින්ද රෝගය පැතිරීමේ හැකියාවක්ද පවති. Mpox (monkeypox) රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

රජයේ නිල පුවත් අඩවිය ඇසුරිනි

Related Posts