“නොවැම්බර් 16 දා මේ රටට තීරණාත්මක අවස්ථාවක් උදාවෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ඡන්දදායකයින් වශයෙන් ඔබට ගන්න තිබෙන්නේ ඉතාමත් සරල තීන්දුවක්. ඒ තමයි පවුල්වාදය ආරක්ෂා කරනවාද, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරනවාද යන්න කියලා තීරණය කිරීමයි. ගෝඨාභය මැතිතුමා මේ රට වෙනුවෙන් කරපු විශාල වැඩකොටසක් තිබෙනවා. මම ඒවා නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ අතරම ඔවුන් ප්රජාතන්ත්රවාදය උල්ලංඝණය කරපු අවස්ථා බොහෝමයක් තිබෙනවා. ඒවා අපට අමතක වෙන්නේ නැහැ. මේ රටේ විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් ජීවත් වෙනවා. ඒක තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය. සියලු ගැටළු පසෙකලා ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළින් සහජීවනයෙන් ඉදිරියට යාමටයි අපට අවශ්‍ය වන්නේ” යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා උතුරු කොළඹ ආසනයේ මෝදර ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භකල ගෙයින් ගෙට යාමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අපි 2015 දී ජය ගත්තේ එසේමෙසේ ඡන්දයක් නොවෙයි. එදා ප්රජාතන්ත්රවාදය වලදාලා තිබුණ අවස්ථාවක, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න, රට සංවර්ධනය කරන්න, පවුල් වාදය අයින් කරන්න තමයි එදා අප ඔබගෙන් වරමක් ඉල්ලුවේ. එදා ඔබ අප විශ්වාස කරලා අපට ලබාදුන්න වරමෙන් අපට සැම දෙයක්ම ඉටුකරන්න බැරි වුණා. නමුත් වළදාලා තිබුණ ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කරන්න, රජයේ සේවයේ වසර 11 ක් නොකරපු වැටුප් වැඩිකරන්න, පොලිස් සේවයේ වැටුප් වැඩි කරන්න, ත්‍රිවිධ හමුදා වැටුප් වැඩිකරන්න. ජීවන වියදම අඩු කරන්න වගේ ජනතාවට දැනෙන වැඩකොටසක් අපට කරන්න හැකිවුණා. අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඇතිකරපු ආණ්ඩුවේ අවසන් කාලයේ නොයෙක් ගැටළු ඇතිවුණා. ඒ නිසා අපට ජනතා සේවය හරිආකාරයෙන් ඉටුකරන්න බාධා ඇතිවුණා. අන්න ඒ නිසා තමයි අපි තීරණය කළේ ජනතා සුබසෙත සලසන්න අපේම ආණ්ඩුවක් බිහි කරන්න ඕන කියලා. එදා කරන්න බැරිවුණ සංවර්ධනය ඔබේ වරම තුළින් නොවැම්බර් 16න් පසුව බිහිවන අපේම ආණ්ඩුවක් තුළින් ඉටු කරනවා කියලා මම පොරොන්දු වෙනවා.
නිදහස් අධ්‍යාපනය, උසස් අධ්‍යාපන පහසුකම් අපි ස්ථාපිත කරලා තිබෙනවා. දැනුවත්කම වර්ධනය කිරීම තුළින් අප දුප්පත්කම නැති කලයුතුයි. ඒ වගේම රටේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවිය යුතුයි. එදා පිටින් ගත්ත බෙහෙත් අද වනවිට රොහල් වලින් ලබාගැනීමේ හැකියාව යම් මට්ටමකට වර්ධනය වෙලා තිබෙනවා. රට අවශ්‍ය වන්නේ සහජීවනයක් තුළින් විනයක් ඇති කිරීමයි. යම් අන්තවාදී පිරිසක් රටේ බොරු ප්‍රචාර පතුරවනවා. අපි ඒ තත්ත්වය හොලාදකින්න ඕන. අපට අවශ්‍ය වන්නේ අන්තවාදය පරාජය කරන්නයි. අපේ පාලනය තුළ වල්මත් පාලනයක් තිබුණේ නැහැ. යහපාලයෙන් වැඩියෙන්ම ප්‍රශ්න ඇතිවුණේ එක්සත් ජාතික පක්ෂයටයි. පීඩනයට ලක්වුණේ අපේ පාක්ෂිකයිනුයි. මොන බාධා තිබුණත් නීතිය පෙරටුකරගෙන රට සංවර්ධනය කිරීම තමයි අපට වැදගත් වන්නේ” යැයි පැවසීය.