එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නැතිකරන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ එජාපය තුළ සිටින එතුමියගේ කල්ලියට අපි ඉඩ තියන්නේ නැහැ.. (වීඩියෝ)

Spread the love

“එක්සත් ජාතික පක්ෂයේ සමගිතාවය නැති කරන්න පිටස්තර පක්ෂ වලින් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා.  චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හිතන්නේ එතුමියට හැම පක්ෂයකටම ඇගිලි ගහන්න පුළුවන් කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ක්‍රියාත්මක වෙන්නේ, එතුමියට ඕන විදියට කියලා.  එක්සත් ජාතික පක්ෂයටත් ඇගිලි ගහලා, දෙතුන්දෙනෙක් පොළඹවගෙන, පක්ෂයේ සමගිතාවය. නැති කරන්න පුළුවන් කියලා එතුමිය හිතනවා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට එක්සත් ජාතික පක්ෂයකට කිසිසේත්ම ඇගිලි ගහන්න අපි දෙන්නේ නැහැ. එතුමිය අද අත්තනගල්ල ආසනයේ සංවිධායකවරිය වුණාට, එතුමියට තම ආසනයවත් දිනාගත්ත බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. තම ආසනය දිස්ත්‍රික්කය පවා දිනාගත්ත බැරිවුණ කෙනෙක් එක්ක එකතු වෙලා පක්ෂය ඉදිරියට ගෙනයන්න හදන එක මොන විහිළුවක්ද. එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නැතිකරන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ එ.ජා.ප.ය තුළ ඇතිවී සිටින එතුමියගේ කල්ලියට අපි ඉඩ තියන්නේ නැහැ “යැයි විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය. රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (13) පස්වරුවේ, කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පැවති ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය අවසානයේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙනි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී කිරිවෙහෙර ආලෝක පූජාව පැවැත්වූ අතර කිරිවෙහෙර අභියස මෙන්ම කතරගම දේවාලයේ පුද පූජා වලට සහභාගි වූ අමාත්‍ය රවී කරුණානායක මහතා, කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් බැහැදැක, පූජා භූමියේ දැනට පවතින විදුලි අඩුපාඩු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළේය. මෙම පුණ්‍යකර්මය සදහා ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු දේශපාලනාධිකාරිය සහභාගි විය.

 මාධ්‍ය වෙත තවදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍ය කරුණානායක මහතා ..,

“ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අපි නිසි වේලාවට ඉදිරිපත් කරනවා. තවමත් අපි ස්ථිර වශයෙන් කෙනෙක්ව පත් කරලා නැහැ.. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සරත් ෆොන්සේකා වැනි ප්‍රභලයින් මේ පක්ෂයේ ඉන්නවා. ඉතින් වෙන නම් නිකරුනේ ඉදිරිපත් වුණාට ඒ පක්ෂයේ ඒකමතික තීරණය නොවෙයි. පක්ෂයේ ප්‍රභලයින් තුලින් පරිනතබාවයකින් යුතු, රටට ආදරයක් තියෙන, ඉදිරි දැක්මක් සහිත, වැඩක් කරන්න පුළුවන්, රට ජාත්‍යන්තරයට ගෙනයන්න හැකි ආකාරයේ පුද්ගලයෙක්  තමයි ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අපි ඉදිරිපත් කරන්නේ. මේක අපේ තනි තීරණයක් නොවෙයි. පක්ෂයේ ඒකමතික තීරණයක්. අපට මේ රට ජාත්‍යන්තරයට ගෙනයා යුතුයි. රටේ ආර්ථිකය දියුණූ කළ යුතුයි. රට සංවර්ධනය කළ යුතුයි. රටේ විරැකියාවට පිළියම් සෙවිය යුතුයි. ඒ සදහා හැකියාවගක් තියෙන කෙනෙක් තමයි ජනාධිපති විය යුත්තේ “යැයි පැවසීය.

මරණ දඩුවම නීතිගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දුන් රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ඇත්තේ එක නායකයෙක් බවත්, එතුමා ප්‍රමුඛ එ.ජා.ප.ය මරණ දඩුවමට විරුද්ධ බවත්, සිංහල, බෞද්ධ රටකට එවැනි  තත්ත්වයක් නොගැලපෙන බවත් වැඩිදුරටත් පැවසීය.