20 ජවිපෙ යළි ඔසවයි

Spread the love

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක්‌ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මැයි 08 වැනිදායින් අරඹන නව පාර්ලිමේන්තු සැසියේදී සභාවට ඉදිරිපත් කරන බව විජිත හේරත් මහතා කීවේය.

මෙම සංශෝධනය හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය කල් තැබූ නිසා එය මැයි මස දක්‌වා ප්‍රමාද වන බවද විජිත හේරත් මහතා කීවේය.

මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඊට සහාය ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් සමග ජනතා විමුක්‌ති පෙරමුණ සාකච්ඡා පවත්වන බවද විජිත හේරත් මහතා කීවේය.