නක්ල්ස් සංරක්ෂිතයේ අක්කර 35ක් හෝටලයක් හදන්න සමාගමකට!

Spread the love

නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපයේ අක්කර 35 ක භූමි භාගයක හෝටලයක් ඉදිකිරීම සඳහා සමාගමකට ලබා දී ඇති බව තහවුරු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා සහ පරිසර සංවිධාන නියෝජිතයින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් අනාවරණ කළේ නකල්ස් රක්ෂිතයේ ඉඩම් ලබා නොදුන් බවට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව තහවුරු වන බවයි.

නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපයේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මැදවත්ත වතුයායේ කටාරම්තැන්න දන්කන්ද වැවත් සමග අක්කර 35 ක භූමි භාගයක් හෝටලයක් ඉදිකිරීම සඳහා 35 අවුරුදු බදු පදනම යටතේ සමාගමකට ලබා දී ඇති බව පරිසර සංවිධාන අද අනාවරණ කළේ එහි සිදු කළ සංචාරයකින් අනතුරුවයි.

මේ සඳහා ආචාර්ය අශෝක රන්වල,ගැපෙක් ශ්‍රී ලංකා පරිසර අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ගාමිණී ජයතිස්ස,ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ මහතා මෙන්ම ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද මෙම කණ්ඩායමට එක්ව සිටියා.