“ග්‍රාමශක්ති” පුත්තලමේ ගම්මාන රැසක් සවිබල ගන්වයි; ගමේ වැඩ ගොඩකට ජනපතිගෙන් ජනතාවගේ අතටම මුදල්

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජනතාව සවිබල ගන්වමින් ගම හදන “ග්‍රාම ශක්ති” ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ(13) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී පුත්තලම සහ කුරුණෑගල දිස්ති්ක් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන ප්‍රතිපාදනවල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග්‍රාමශක්ති ජනතා සමිතිය සහ සි/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

එසේම තලවිල ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ (13) පෙරවරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමිනි. තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ අතර දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

ජල හිඟය, විදුලිය පිළිබඳ ගැටලු, ප්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිඟය සහ තම නිෂ්පාදන අළෙවි කර ගැනීමේදී මතුව තිබෙන ගැටලු ඒ අතර ප්‍රමුඛ විය.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ප්‍රදේශයේ විදුලිබල ගැටලුවලට ස්ථීර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නංවන බවයි.

අදාළ සියලු ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලමින් ඒවා ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සතියත් තුළ ප්‍රදේශය වෙත එවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එමෙන්ම තම පළතුරු නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබිමේ ගැටලුව පිළිබඳව ද ප්‍රදේශයේ පළතුරු ගොවින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර පළතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පළතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවරයන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තලවිල ප්‍රදේශයේ ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම සංකේවත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද තලවිල සූර්ය බල ව්‍යාපෘතිය ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

RSL

Related Posts