හවුල් ආණ්ඩුවේ මුල සිටම අවුල් තිබුණා; ජනාධිපතිතුමා ඇත්තටම අපිට යහපතක් කළේ

Spread the love

කැඩී බිඳී, දියවෙමින් යමින් තිබුණු එජාපය යළි අවදි කිරීමට ජනාධිපතිතුමා ඔක්තෝබර් 26දා සිදුකළ වෙනස අපට මිල කළ නොහැකි වෙස් වළාගත් ආශීර්වාදයක් වී ඇතැයි හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බද්දේගම නගර ශාලාවේ 08දා පැවැති එක්සත් ජාතික පක්ෂ බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීමේදීය.

හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

දින 100 හවුල් ආණ්ඩුවෙත් අවුල් තිබුණා. ඒ ගැටලු තේරුම් ගනිපු පාක්ෂිකයෝ වගේම තේරුම් නොගත්තු පාක්ෂිකයොත් අපේ පක්ෂෙ හිටියා. අපි හවුල් ආණ්ඩුව කළේ මොනතරම් භයානක පාලකයෙක් සමඟද කියලා ඔක්තෝබර් 26දා ලෝකෙම දැනගත්තා. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කරලා හොර රහසේ හඳපානේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරලා. එජාප පාක්ෂිකයා දැන ගත්තා අපිට තිබුණු බාධක මොනතරම්ද කියලා. එදා අපිට අගමැතිකම අහිමි වෙද්දි, එතෙක් කල් අපිට බැන බැන, කලකිරීමෙන් ඉඳපු පාක්ෂිකයෝ නැවතත් කොන්දේසි විරහිතව අප සමඟ එකතු වුණා. දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මිනිස්සු අප සමඟ එකතු වුණේ මේ සටන ජයග්‍රහණය කරලා මිසක් පස්ස බලන්නේ නෑ කියන අධිෂ්ඨානයෙන්.

හතර පස් වතාවක්ම පාර්ලිමේන්තුවේ බහුතරය අපිට ඇති බව පෙන්වූවා. තවත් සති දෙක තුනකින් අපේ අගමැතිවරයා යටතේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති පුටුවේ වාඩි කරද්දී ඒ අය බලාපොරොත්තු වූ බොහෝ දේවල් වුණේ නැහැ. ඒ වුණාට එජාපයට වෙස් වළාගත් ආශීර්වාදයක් වුණා ඒ සිද්ධිය. කැඩිලා බිඳිලා යමින් තිබූ එජාපය අද වන විට වඩා ශක්තිමත් වෙලා තියෙනවා.