ක්‍රීඩා ඇමති ෆයිසර් තම සහචරයින් ලවා ක්‍රිකට් අපයෝජනය කරයි

Spread the love

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ලංකාව අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය හා 20/20 තරගය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රවේශ පත්‍ර 800ක් පමණ තම දේශපාලන ආධාරකරුවන් ඇතුළු සිය හිතවතුන්ට ලබාදීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට රුපියල් ලක්ෂ 40ක පමණ මූල්‍යමය පාඩුවක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

මෙම තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අතර අමාත්‍යවරයා විසින් ප්‍රවේශ පත්‍රවලින් කොටසක් ආබාධිත රණවිරුවන් සඳහා වෙන්කර ඇති බවත් අනෙක් සියලුම ප්‍රවේශ පත්‍ර අමාත්‍යවරයාගේ පෞද්ගලික හිතවතුන් ඇතුළු තම දේශපාලන සහචරයින්ට ලබාදී තිබෙන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මෙය රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවද මන්ත්‍රිවරයා කීය. ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (16දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රි සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.