රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් ජනපති ගැන දුන් සහතිකය

Spread the love

සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන සහනදායී වැඩපිළිවෙළ අඩාල කර පළපුරුද්දක් නොමැති පාර්ශ්වයක් වෙත භාරදී රට නැවතත් අගාධයට ගෙන යනවා ද නැද්ද යන්න ජනතාව නිවැරදිව සිතා බලා තීරණය කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

සෑම අංශයකින්ම වැටී තිබූ රට යළි ගොඩගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයක් ලෙස වගකීමෙන් යුතුව කටයුතු කළා. රටේ ආහාර හිඟයක් පැවති අවස්ථාවක අප අමාත්‍යංශය වගකීමෙන් කටයුතු කිරීම නිසා එම අවධානම මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වයෙන් යුතුව අමාත්‍ය මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව රට අර්බුදයෙන් ගොඩ ගැනීමට කැපවීමෙන් කටයුතු කළා.

ඒ වගේම නීති පද්ධතිය යළි සකස් කිරීම සඳහා අවශ්‍ය අණපනත් රැසක් සම්මත කරමින් රට නිසි මඟට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. එසේම දූෂණ චංචා නැවැත්වීමට සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත එළඹුණා. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර සහාය අවශ්‍ය ආකාරයට ලැබුණු නිසා බව පැවසිය යුතුයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මෙන්ම සබඳතාවයන් ද ඉතා වැදගත් වුණා.

එමෙන්ම කොරෝනා වසංගතය නිසා ලෝකයේ රටවල් රැසක ආර්ථිකය බිඳ වැටුණා. ඇතැම් රටවල්වලට එම තත්ත්වයෙන් මිදීම සඳහා තවමත් හැකි වී නැහැ. නමුත් අප වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉන් මිදී රට නිවැරදි මාවතකට ගෙන යාමට හැකි වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අපගේ මිත්‍ර රටවල් දැක්වූ සහයෝගය නිසා ඉන්ධන, විදුලිය ඇතුළු අර්බුදවලින් මිදී පෝලිම් යුගය අවසන් කිරීමට හැකියාව ලැබුණා. එහි ප්‍රතිලාභය බුක්ති විදීමට මේ වන විට ජනතාවට හැකි වී තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ඉලක්ක කරමින් විපක්ෂයේ ඇතැමුන් රටේ සංවර්ධන ක්‍රියාදාමය අඩාල කිරීමට සහ කඩාකප්පල් කිරීමට විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටිනවා. ඒ නිසා රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා පළපුරුද්දක් නැති පාර්ශ්වයන්ට අවස්ථාව ලබා දී රට යළි අගාධයට ඇද දමනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාව නිවැරදිව සිතා බලා ක්‍රියා කළ යුතු බව ද පැවසිය යුතුයි.

Related Posts