පුද්ගලයින් 18,781 කට පීඩාකර 7ක් බිලිගත් 5ක් අතුරුදන් කල සැනින් රට කැළඹු විපත

Spread the love

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක දහතුනකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (30 දා) සවස්‌ වන විට පුද්ගල මරණ හතක්‌ සහ අතුරුදන්වීම් පහක්‌ වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

එසේම තුවාලකරුවන් විසිහය දෙනකු වාර්තා වන බවත් පවුල් හාරදහස්‌ අටසිය අසූහයකට (4886) අයත් පුද්ගලයන් දහඅටදහස්‌ හත්සිය අසූඑකක්‌ (18781) දෙනකු පීඩාවට පත්ව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

පූර්ණ නිවාස හානි දෙසිය දෙකක්‌ද (202), අර්ධ හානි තුන්දහස්‌ දෙසිය පනහක්‌ද (3250), වාර්තා වන අතර සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තායතන හයසිය හැත්තෑ හයක්‌ (676) හානි වී තිබේ.

A Sri Lankan man runs for cover as it rains next to a fallen tree in Colombo, Sri Lanka, Thursday, Nov. 30, 2017. Sri Lanka’s government says storms with heavy rain and winds across the country have left at least four people dead and several fishermen are among 23 people missing. (AP Photo/Eranga Jayawardena)

කොළඹ, කළුතර, ගාල්ල, ගම්පහ, මාතර, හම්බන්තොට, නුවර, නුවරඑළිය, බදුල්ල, පුත්තලම, මොනරාගල, කෑගල්ල සහ රත්නපුරය යන දිස්‌ත්‍රික්‌ක 13 ට මෙම ආපදා තත්ත්වය බලපා තිබේ.

මියගිය පුද්ගලයන් හත්දෙනා අතරට ධීවරයන් හතරදෙනකු සිටින බවත් ගස්‌ කඩාවැටීමෙන් ජීවිත හානි දෙකක්‌ද, පස්‌ කන්දකට යටවීමෙන් එක්‌ ජීවිත හානියක්‌ ද වාර්තා වන බවත් හෙතෙම පැවසීය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක්‌ මතට ගසක්‌ කඩා වැටීමෙන් මරණයක්‌ද. මඩොල්සිම ප්‍රදේශයේදී ත්‍රිරෝද රියක්‌ මතට ගසක්‌ කඩා වැටීමෙන් මරණයක්‌ ද බණ්‌ඩාරවෙල ප්‍රදේශයේදී පස්‌ කන්දක්‌ කඩා වැටීමෙන් එක්‌ මරණයක්‌ ද සිදුව ඇති අතර අම්බලන්ගොඩ, දොඩංදූව. අකුරල, හික්‌කඩුව ප්‍රදේශයේ මුහුදු ගිය ධීවරයන් සිවුදෙනකු ද මියගොස්‌ ඇත.

අධික වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ ස්‌ථාන කිහිපයකදී පිටාර මට්‌ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු පී. හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

නිල්වලා ගඟෙහි පිටබැද්දර, පානදුගම හා සපුගොඩ යන ස්‌ථානත්, ගිංගගෙහි තවලම ජල මිනුම් ස්‌ථානයත් පිටාර මට්‌ටමට ළඟාවෙමින් ඇති බවත් හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය.

මුහුදු ප්‍රදේශ කිහිපයකදී අනතුරට ලක්‌ වූ ධීවර යාත්‍රා කිහිපයක්‌ නැවත ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත්ව ඇතිබව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්‌ඩාර මහතා පැවැසීය.

එසේම අකුරළ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා කිහිපයක්‌ ගොඩබිම වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් හම්බන්තොට ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක්‌ නැවත පැමිණීමට නොහැකිව මුහුදේ නැංගුරම් ලා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

දිවයින

RSL

Related Posts