රවී ජම්පරේ අඳින දවස ඩිව් කියයි
- RSL
- January 23, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Ravi Karunanayake
- 0 Comments
බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය.
ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවි කරුණානායක මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඩිව් ගුණසේකර මහතා මෙසේද පැවසීය.
‘රවි කරුණානායක මහතා කවද්ද ඇත්තක් කිව්වේ? මුලින් කිව්වා මෙවැනි සිදුවිමක් නැහැ කියලා. ඊට පස්සේ එයට තමන්ගේ සම්බන්ධයක් නැහැ කිව්වා. ඊටත් පස්සේ කොමිසමට ගෙනත් ප්‍රශ්න කළාම තමන්ට එපාර්ට්මන්ට් එකකින් ගෙයක් ලැබුණ විදිහ දන්නේ නැහැ කිව්වා. කොමිසමේ වැඩ අවසන් කළාට පස්සේ කිව්වා වාර්තාව හදාගන්න බැරුව කොමිසම හිරවෙලා පැටලිලා ඉන්නේ, ඒ ගොල්ලේ කරපු බොරුව අහුවෙන නිසා වාර්තාවක් එළියට දාන්නේ නැහැ කිව්වා. දැන් කියනවා වාර්තාව එයාට ලැබුණා ඒකේ තියෙන්නේ බොරු කියලා.
අපි නම් දන්නේ එතුමා කියපු මේ සේරම බොරු කියලා විතරයි. කොමිසමේ වාර්තාවේ පැහැදිලිව එතුමාට චෝදනාවක් තිබෙනවා බොරු සාක්ෂි ඉදිරිපත් කළා කියලා. දැන් මේක තිබෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක‍්‍රියාවලියේ. ඒ නිසා එතුමාට බේරෙන්න බැහැ. එතුමාට හිරේ යන්න සිදුවෙනවාමයි. අපි කියනවා රවි කරුණානායක මහත්තයාට දැන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.’

