ජනපතිට මුවා වී දයාසිරි බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අත්පත් කරගෙන!

Spread the love

ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තවමත් ආණ්ඩුවේ නිල නිවසක බලහත්කාරයෙන් රැඳී සිටින බවට වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ ඉකුත් අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුණේය. එම ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයි මස පළමුවැනිදායි.

ඒ අනුව දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස තුනක් ගතව ඇතැත් ඔහු තවමත් අමාත්‍ය ධුරකාලයේදී භාවිත කළ නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩාත් සමීප මන්ත්‍රීවරයෙකු ලෙසත් දූෂණ-විරෝධියෙකු ලෙසත් මාධ්‍ය සහ ජනතාව ඉදිරියේ පෙනී සිටින දයාසිරි ජයසේකර මහතා මෙලෙස බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අත්පත්කරගෙන සිටිනුයේ ජනාධිපතිවරයාගේ දේශපාලන බලයට මුවා වී බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එම සැකය වඩාත් ත්‍රීව වන්නේ රාජ්‍ය දේපල සොරාගන්නා සහ අවභාවිතා කරන්නන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයැ’යි කියන ජනාධිපතිවරයා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මෙම රාජ්‍ය දේපල අවභාවිතාවට එරෙහිව ක්‍රියාත්මක නොවීම තුලිනි.

මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් රැඳී සිටින මෙම නිවස පිහිටා ඇත්තේ කොළඹ හත හෙක්කර්කොබ්බෑකඩුව අංක සී – 78 දරණ ස්ථානයේයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවස්ථා ගණනකදී එම නිල නිවසින් ඉවත්ව එය තමන්ට භාර දෙන්නැයි දයාසිරි ජයසේකර මහතාට දන්වා ඇතත් එය දයාසිරි ජයසේකර විසින් කිසිදු සැලකිල්ලකට ගෙන නැතැයි වාර්තා වේ.

ඒ අනුව දයාසිරි ජයසේකර එරෙහිව නඩු පවරා නිවස නැවත ලබා ගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්ට නියෝග කර ඇතැයිද එම ආමත්‍යාංශ ආරංචිමාර්ග දක්වයි.