ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූයේ නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බැව් පැවැසීය.
ඒකාබද්ධයේ බහුතර පිරිසක් එකතුවට කැමැති වෙද්දී මෙම දෙදෙනා නිසා සමගිය නැතිවීම පුදුමයක් බවද ඇමැතිවරයා කීවේය.
ශ්රීලනිපය හා එකතුවීමට කළ අවසන් සාකච්ඡාවද අසාර්ථකවූ බවත් ගමේ පාක්ෂිකයා කිසිවිටක පොහොට්ටුවට ඡන්දය නොදෙන බවත් දයාසිරි ජයසේකර ඇමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ සිටින අය දවසට එක්කෙනා දෙන්නා යළි පක්ෂයට එකතු වන බවත් මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණ කියන පක්ෂය ඉතිරිවන එකක් නැති බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.