Crudia zeylanica ගස අනතුරේ ද ?

Spread the love

මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. – මහාචාර්ය සිරිල් විජේසුන්දර

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය රැක ගැනීමට පෙරට ආ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක දැන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටින්නීය. ඊට හේතුව බලධාරින් විසින් ඇය නිහඬ කර තිබීම බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.

මේ අතර තවත් ස්ථාන කිහිපයකින් එම විශේෂයේ ශාක කිහිපයක් සොයාගෙන ඇති නිසා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පවතින ශාක වලට මෙතෙක් ලබා දී තිබූ පරිසර විද්‍යාත්මක වටිනාකම අඩු විය හැකි බවට ඇතැම්හු අදහස් පළ කරති.

එම පසුබිම මත අද භික්ෂුන් වහන්සේ එම ස්ථානයට වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනය කර, චීවරයක් පළඳවා එම ගස ‘පැවිදි කර’ සාංඝික දේපළක් බවට ප්‍රකාශයට පත් කළහ.

‘කෲඩියා සෙලනිකා’ ගස් හතක් සහ පැ විස්සක්

මෙම විශේෂයෙන් ගස් හතක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර පැල විස්සක් රෝපනය කරමින් පවතින බව පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා අත්තනායක බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

”අපිට මිනුවන්ගොඩ පැත්තෙ තියෙන නැන්දිමහර ප්‍රදේශයෙන් මේ විශේෂයේ විශාල ගහක් හමුවුණා. ඒ ගහ මේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශයේ තියෙන ගහටත් වඩා විශාලයි. මෙවැනි ශාක සංරක්ෂණය අපට පැවරෙන වගකීමක්. අපි ඒ සඳහා ක්‍රියා කරමින් සිටිනවා” යනුවෙන් ආචාර්ය අචලා අත්තනායක පැවසුවාය.

කෲඩියා සෙලනිකා ශාක දක්නට ලැබෙන ප්‍රදේශ

  • ගම්පහ බෙලිමුල්ල
  • ගම්පහ උද්භිද උද්‍යානය
  • දොරණගොඩ දකුණ
  • මිනුවන්ගොඩ නැන්දිමහර
  • කඩුවෙල
  • ගම්පහ දාරලුව [ශාක දෙකකි]

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ පාරිසරික අධ්‍යයනයේදී මේ දිනවල දැඩි කතා බහට ලක්ව ඇති ගම්පහ, දාරළුව ප්‍රදේශයේ කෲඩියා සෙලනිකා ශාක දෙක හඳුනාගෙන නොතිබුණි. එබැවින් අදාළ ව්‍යාපෘතිය යටතේ මේ ශාකය සංරක්ෂණයට අවධානයක් යොමුව තිබුණේ නැත.

මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ විසිනි.

“නුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා මීරිගමට යන කොටසේ තමයි දාරළුව ප්‍රදේශය තියෙන්නේ. මේ මාර්ගයට යොදාගන්නා ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසර තත්ත්ව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට දීලා තිබුණා. ඒ වාර්තාවෙන් කියවුණේ පාරිසරික හානියක් නැති බවයි. ඒත්, මධ්‍යම පරිසර අධිකාරිය 2018 අවුරුද්දේ අපට උපදෙස් දුන්නා ආපහු සැරයක් අදාළ ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැන සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියලා. ඒ අනුව කරපු අධ්‍යයනයේදී තමයි මේ ශාකය හඳුනාගන්න ලැබුණේ,” යනුවෙන් හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ මීට පෙර බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසීය.

”ගස් කියන්නේ දුවන සත්තු ජාතියක් නෙමෙයි. එනිසා පරිසර අධ්‍යයන වාර්තාව හරියට කලානම් මේවා කලින් හඳුන ගන්න තිබුණා. දැන් පාර මෙතනින් යම් ප්‍රමාණයක් වෙනස් කළත් ඒක රුපියල් මිලියන ගාණක වෙනසක්. කාගේ සල්ලිද යන්නේ? එහෙම කියලා සංරක්ෂණ කාර්යය නොසලකා හරින්නත් බෑ.” යනුවෙන් වනජීවී පර්යේෂකයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ අදහස් පළ කළේය.

කෲඩියා සිලනිකා

”වෙනත් තැනකට ගහ රැගෙන යෑම අසාර්ථක වීමේ හැකියාව වැඩියි”

ගම්පහ, දාරළුවේ දක්නට ලැබෙන කෲඩියා සෙලනිකා විශාල ශාකය වෙනත් ස්ථානයක රෝපණය කිරීමේ යෝජනාවක් ද මේ වනවිට ඉදිරිපත් වී ඇත. ඒ සඳහා වනජීවී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියට යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එහි දැක්වෙන්නේ අදාළ ශාකය වෙනත් සුදුසු ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වයක් නොමැති බවය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෲඩියා සෙලනිකා ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට දැනුම් දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ ලිපියකින් ද තහවුරු වේ.

එවැනි ක්‍රියාවක් මේ සඳහා කොතරම් සාර්ථකවේද යන්න ගැන ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සිරිල් විජේසුන්දරගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කරන ලදී. ඔහුගේ අදහස වී තිබෙන්නේ එවැන්නක් අසාර්ථක වීමේ සමභාවිතාව වැඩි බවය.

”උස ගස් වෙන තැනකට රැගෙන යන්න පුළුවන්. නමුත් මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. මේ ලොකු ගහ තියෙන්නේ ජල මාර්ගයක් අසළ නිසා ඒ පැත්තේ මතුපිට මුල් ගිහින් නෑ. අනික් පැත්තේ මුල් ගොඩක් ඈතට ගිහින් ඇති. ඒ පැත්තෙන් මුල් කපපු ගමන් ගහ මැලවිලා යන්න ඉඩ තියෙනවා.” යන්න මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ අදහස වී ඇත.

ශාකය වෙනත් ස්ථානයකට රැගෙනයාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැමැත්ත පළ කර තිබුණ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඊට කැමැත්ත පළ කර නැත.

මේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පෙබරවාරි 09 වැනිදා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කරන ලදී. එහි තීන්දුව මේ දක්වා ප්‍රකාශයට පත්වී නැත.

දේවානි ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා කෲඩියා සෙලනිකා ශාක කැපීමට පසුගිය දිනවල ගත් උත්සාහයක් ව්‍යර්ථ කෙරුණේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම නිසාය. ඒ ගැන සමාජයේ දැඩි අවධානයක් යොමු වූ අතර පෙබරවාරි 09 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරුණි.

වනජීවී හා වන සංරක්ෂණ සී.බී රත්නායක මෙලෙස අදහස් පළ කළේය.

”මේ විෂය පථය භාරව තියෙන්නේ කාටද, ඒ විෂය සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන එක දන්නේ නැතිව ඒ නිලධාරිනිය කටයුතු කරනවා. හුදෙකලා ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙනකොට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරය, අපේ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් දැන් එතැනට ගිහිල්ලා තියෙනවා.ඒ වගේම අලුත් අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නං ඒ කාර්ය කරනවා.”

”එසේ නොහැකි නම් විකල්ප දෙයක් දෙන්න අපි උත්සාහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයන්, උන්මතකයන් විදියට කටයුතු කරන අයත් ඉන්නවා. ” යනුවෙන් සී.බී රත්නායක පැවසූවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීය.

”මේ ප්‍රශ්නය මතු කළ දේවානි මැතිනියට අපහාස කරමින් මන්ත්‍රීවරු මේ සභාගර්භයේ කතා කළා. මම පුදුම වෙනවා පරිසර ක්ෂේත්‍රයේ කෘතහස්ත රාජකාරියක් කරන රාජ්‍ය නිලධාරිනියක් ගැන මහජන මන්ත්‍රීවරු මේ තරම් බය වීම ගැන. මම පැහැදිලිව කියන්න කැමතියි ඒ නිලධාරිනිය ප්‍රතිරූප ගොඩනඟන්න උත්සාහ දරන්නේ නෑ .එතුමිය දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නෑ. හැබැයි එක දෙයක් තියෙනවා . එතුමිය මේ රටේ පරිසරය සුරක්ෂා කිරීමේ වගකීම සියයට ලක්ෂ ලක්ෂවාරයක් ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා.” යනුවෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

Text by bbc

RSL

Related Posts