Covid -19: වයස 50ට වැඩි පිරිමින්ට අවදානම වැඩි ද?

Spread the love

ව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ඇතුළුව ඇතැම් පුද්ගලයන්ට රෝහලක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය.

55 හැවිරිදි බොරිස් ජොන්සන්ට මතු වූ රෝග ලක්ෂ නරක අතට හැරීම හේතුවෙන් මේ වනවිට ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහුට ඔක්සිජන් සපයා ඇත. නමුත් ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාසය සඳහා ශ්වසන ආධාරකයක් (Ventilator) අවශ්‍ය නොවීය.

රෝගී විය හැකි පුද්ගලයන් කවුරුන්ද?

ඇතැම් පුද්ගලයන්ට රෝගී තත්ත්වය උත්සන්න වී සංකූලතා ඇතිවීමේ අවදානම වැඩිය.

පෙර රෝගී තත්ත්වයන් තිබුනත් නැතත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් සියලු දෙනා එම ලැයිස්තුවට ඇතුළත් වෙති.

එමෙන්ම හෘද රෝග වැනි පෙර රෝගී තත්ත්වයන් පවතින සියලු දෙනා ද වයස් භේදයකින් තොරව එම ලැයිස්තුවට අයත් වෙති.

පිළිකා රෝගයකට ගොදුරු වී ඒ සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරය ලබන පුද්ගලයන් ද එම කාණ්ඩයට ඇතුළත් කොට ඇත. නව කොරෝනාවෛරසයෙන් බේරී සිටීම සඳහා, නිවසින් බැහැරව නොයන ලෙසට ඔවුන්ට උපදෙස් දී තිබේ.

කොවිඩ්-19 වෛරසයෙන් රෝගී වීමට වැඩි අවදානමක් සහිත ගණයට ඇතුළත් කර නොමැති වුවත්, වයස අවුරුදු 50 ත් 60 ත් අතර සිටින පිරිමින්ට එය තදින් බලපා ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙය සර්ව පැහැදිලි නිගමනයක් නොවේ. මෙම සහසම්බන්ධතාව නියත හේතුවක් නොවේ.

වයසින් වැඩි පුද්ගලයන්ට මෙහෙම වෙන්නේ ඇයි?

රෝග ලක්ෂණ

විද්‍යාඥයන්ට තවමත් එය පැහැදිලි නැත.

එක්සත් රාජධානියේ රෝහල් හි දැඩි සත්කාර ඒකක ගෙන හැර දක්වන වාර්තා අනුව බරපතල ලෙස රෝගාතුර වන්නන්ගේ දල වයස අවුරුදු 60 කි. මින් බහුතරය පිරිමින් ය. එමෙන්ම ස්ථුලභාවය සහ හෘද රෝග වැනි තත්ත්වයන් හේතු කොට ගෙන බොහෝ දෙනා වැඩි අවදානම් සහිත තත්ත්වයකට පත්වී ඇත.

කෙසේ වෙතත් වයසත් සමඟම මරණ අනුපාතිකය ද ඉහළ යන බවත් එහිදී පිරිමි පුද්ගලයන්ට වැඩි අවදානමක් පවතින බවත් පෙනී ගොස් ඇත.

නව කොරෝනාවෛරසය ආරම්භ වූ චීනයේ දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේ දී පවා පෙනී යන්නේ ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ට මෙහි අවදානම වැඩි බවය.

නමුත් එය ස්ත්‍රී – පුරුෂභාවය මත පමණක් යැපෙන දෙයක් නොවන බව විශේෂඥ මතයයි. ඊට දුම්පානය වැනි චර්යා ද බලපෑ හැකි බව ඔවුහු පවසති. දුම්පානය සහ පිරිමින් අතර සම්බන්ධතාවය ඉන් පැහැදිලි විය හැකිය.

“පිරිමි වීම නිසාම මෙහි අවදානම වැඩියි කියන නිගමනයට එන්නට මම පෙළඹිලා නැහැ. ඒ සඳහා මෙතෙක් හඳුනා නොගත් තවත් සාධකයක් තිබිය හැකි බවයි පෙනෙන්නට තියෙන්නේ.” යනුවෙන් නොටිංහැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් හෝල් පැවසීය.

ගැහැනුන්ට වඩා පිරිමින්ට හෘද රෝග, දියවැඩියාව සහ පෙනහළු රෝග ඇතිවීමේ ප්‍රවනතාව ඉහළය.

ඇතැමුන් පවසන්නේ ඊට ජාන සහ ලිංගික හෝමෝන ද බලපෑ හැකි බවය.

ස්ත්‍රීන්ගේ ප්‍රතිශක්තිය වැඩිද?

උපදෙස්

“පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රතිශක්තිය අතර සැලකිය යුතු වෙනසක් පවතින බවට එන්න එන්නම තහවුරු වෙමින් පවතිනවා. එය බෝවන රෝගවලදී ලැබෙන අවසන් ප්‍රතිඵලයට විශාල බලපෑමක් ඇති කරවනවා.” යනුවෙන් ප්‍රතිශක්තිය පිලිබඳ විශේෂඥ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය පිලිප් ගොල්ඩර් ප්‍රකාශ කළේය.

“පිරිමින් හා සංසන්දනය කිරීමේදී, එන්නතකට හෝ ආසාදනයක දී ස්ත්‍රීන් ගේ ප්‍රතිශක්තිය වඩා වේගවත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා.

ස්ත්‍රීන් ගේ ජාන X ක්රෝමසෝම දෙකකින් සමන්විත වීම සහ පුරුෂ ජාන එක් X ක්රෝමසෝමයකින් සහ Y ක්රෝමසෝමයකින් සමන්විත වීම මීට හේතුව විය හැකිය.

“ඉතා වැදගත් ප්‍රතිශක්ති ජාන කිහිපයක්ම ස්ථාන ගත වෙලා තියෙන්නේ X ක්රෝමසෝමය තුළ.” මහාචාර්ය පිලිප් ගොල්ඩර් පැවසීය.

ඔබ ප්‍රවේශම් විය යුත්තේ කෙසේද?

  • සමබර ආහාර වේලක් ගනිමින් සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා හොඳින් ව්‍යායාමවල යෙදිය යුතුය.
  • ඔබ දුම්පානය කරන්නේනම් එය නතර කිරීමට මෙය හොඳ අවස්ථාවකි.
  • ස්ත්‍රීන්ට වඩා පුරුෂයන් පහත සඳහන් චර්යාවන්ට හුරු වී ඇත.
  • දුම්පානය හා වැඩි ප්‍රමාණයක් දුම්පානය කිරීම.
  • පමණට වඩා ලුණු ආහාරයට ගැනීම.
  • පමණට වඩා රතු පැහැති මාංශ සහ පිළියෙළ කරන ලද මාංශ (processed meat) පරිභෝජනය.
  • අවශ්‍ය පමණට පලතුරු සහ එළවලු ආහාරයට නොගැනීම.
  • මත්පැන් පානය සහ අවදානම් මට්ටමට මත්පැන් පානය.

(බීබීසී පුවත් සේවයේ සෞඛ්‍යය පිළිබඳ සංස්කාරකමිෂෙල් රොබට්ස් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි) – කාලීන භාවය මත මෙම ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

RSL

Related Posts