Covid-19 යළි ව්‍යාප්ත වීමේ වගකීම ජනතාව නොව සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතුයි’

Spread the love

රෝග පරීක්ෂාව අවම කර, රෝග පාලනය අත හැර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනතාව මත වරද පැටවීම සිදු නොකල යුතු බවත් නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරීම පිළිබදව රාජ්‍ය ඇමති ජයසුමනගේ ප්‍රකාශය පදනම් විරහිත බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීයි. එහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන දීර්ඝව කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා මෙසේ ද ප්‍රකාශ කළා, 

‘‘රට තුළ නව කොවිඩ් වෛරසයක් පැතිරෙන බවත්, එම වෛරසය තරුණයන් අතර විශාල ලෙස පැතිරෙන බවත්, ඒ පිළිබඳව සුවිශේෂී පර්යේෂණයක් සිදු කෙරෙන බවත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මූලික කරගනිමින් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.
කෙසේ නමුත් අප දන්නා පරිදි  එවන් පර්යේෂණයක් සඳහා, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හෝ කිසිදු කටයුත්තක් මෙතෙක් සිදුව නැහැ.

ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය හිතාමතාම අතහැර දමා තිබෙන තත්වයක් යටතේ, ප්‍රභේද පැතිරීම පිළිබඳව අවිද්‍යාත්මක ප්‍රකාශ නිකුත් කිරීම අනිසි බිය ගැන්වීමක්. නිවැරදි ලෙස ප්‍රභේද හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව එකම එක ප්‍රභේද හඳුනා ගැනීමේ “ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක්” හෝ නොමැති තත්වයක් යටතේ සහ මාස ගණනාවක් තිස්සේ ඒ වෙනුවෙන් කල කරන ලද ඉල්ලීම් නොසලකා හැර ප්‍රභේද පිළිබඳව අවිධිමත් සහ අවිද්‍යාත්මක ප්‍රකාශ නිකුත් නොකරන ලෙස අප ජයසුමන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  අවම තරමින් හඳුනාගැනීම සඳහා පර්යේෂණ මට්ටමේ පවතින විශේෂයෙන් නිර්මාණය කල පරීක්ෂණ කට්ටල ලබා දෙන ලෙස අප අවස්ථා ගණනාවකදීම ඉල්ලුම් කරනු ලැබුවද, එවන් පහසුකමක් පවා ලබා නොදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රභේද පිළිබඳ අඳුරේ අතපත ගාමින් සිටින තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඉන්දීයාවේ කොවිශීලඩ් එන්නත පමණක් පදනම් වූ රෝග මර්දනය ප්‍රතිපත්තියකට අත්තනෝමතිකවතල්ලු වූ සෞඛ්‍ය අමාත්‍යාංශය, අවම තරමින් කොවිෂීල්ඩ් නිපදවන  ඉන්දියාවේ අත්දැකීම හෝ නිවැරදිව ග්‍රහණය කර ගැනීම වැදගත්. ප්‍රභේද සඳහා කොවිශීලඩ්  එන්නත සුදුසුම එන්නත නොවන බව අප කාලාන්තරයක් තිස්සේ පෙන්වා දී තිබෙනවා. අත්තනෝමතික ලෙස සෞඛ්‍ය සේවාවේ තාක්ෂණික තීරණ ගනු ලැබීම හේතුවෙන් කොවිඩ් පිළිබඳව සිදුකෙරෙන PCR පරීක්ෂණ ප්‍රමාණය, ඉතා පහළ මට්ටමකට ඇද දැම්මා. රෝගය පාලනය කළ බවට අප්‍රේල් මාසයේ මුලදී උදම් ඇනූ සෞඛ්‍ය අමාත්‍යවරුන්, අප්‍රේල් අගදී ජනතාවගේ වැරදි හැසිරීම් නිසා නව ප්‍රභේද පැතිරෙමින් වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්තව ඇති බව පවසනවා. අප්‍රේල් මුල සමාජ ව්‍යාප්තියක් නොමැති බවට අධිපති මත පලකල ඔවුන් අප්‍රේල් අග සමාජ ව්‍යාප්තියක් ඇති බව කියනවා.

️කෙසේ නමුත් සමාජ ව්‍යාප්තියක ට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පිළිබඳව මීට වඩා විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම මෙන්ම, කොවිෂීල්ඩ් එන්නතෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ජාතික වශයෙන් සායනික පර්යේෂණ පැවැත්වීම මේ මොහොතේ රෝගයේ ප්‍රවනතාවන් හදුනා ගැනීමට අත්‍යවශ්‍යයයි.  කොවිඩ් නව ප්‍රභේද පිළිබඳව විද්‍යාතමකව  කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාර සඳහා ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර වහා ලබාදීය යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බලෙන් පටවා, විශේෂ පර්යෙෂණ සිදු කරන බවට බොරු ප්‍රචාර කිරීමෙන් රෝග පාළණය තවදුරටත් අයාලේ යන තත්වයකට පත්ව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති එකම එක එන්නත්වේදී තනතුර පවා සුදුසුකම් වලට පත් නොකරමින්, සංගීත පුටු ක්‍රමයට පත් කර, වෛද්‍ය පර්යේෂණ ආයතනය සුදු අලියෙකු ලෙස නඩත්තු කරමින්, ජාතික මට්ටමේ පර්‍යේෂණ දත්ත භාවිතා කරමින් සිදු කල යුතු වසංගත ප්‍රවනතා පිළිබඳ ප්‍රකාශ, හුදු දේශපාළණ ප්‍රලාප බවට පත්වීම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය කෙරෙහි මහජනතාවට ඇති විශ්වාසය බිදවැටෙන බව සිහි තබාගත යුතුයි.

කොවිඩ් වසංගතයේ ප්‍රවණතාවයන් පිළිබඳව විද්‍යාත්මක වශයෙන් තොරතුරු ඒකරාශී කර ගැනීමේ ක්‍රමවේදයට ජාතික වශයෙන් කටයුතු කරන ලෙසත්, කෘතිම ලෙස රෝගය පාලනය වූ බව හැගවීම හේතුවෙන් පොළඹවනු ලැබූ අප්‍රේල් මාසය තුල ජන හැසිරීම හේතුවෙන් විශාල ලෙස හමු වන රෝගීන් පිළිබඳව අවිද්‍යාත්මකව ප්‍රකාශ නිකුත් කරමින් රෝගය මතුපිට පුරෝකථන සිදු කිරීමට කලබල නොවිය යුතු බව අප විශ්වාස කරනවා‘‘

Related Posts