දරුවන් සුරකිමු පරිසරය රකිමු- මේ නත්තලේ තේමාවයි

Spread the love

නත්තල පිළිබදව කන පුරා ඇසූ, ඇස්‌ පුරා දුටු වෙළෙඳ සැණකෙළිවලින් ජනතාව අන්දමන්දව සිටිති. ක්‍රිස්‌තුස්‌ වහන්සේ සිය දෙව් පියාණන්ගෙන් මිහි මතට ගෙන ආ පණිවිඩය අසන්නටවත් මේ විච්චූර්ණ සැණකෙළිය සිරිය ජනතාවට ඉඩ නොදෙන තරම්ය. මේ නත්තලේ උතුම් අර්ථය ජනතාව වෙත සිහිකැඳවීම උදෙසා මැල්කම් රන්ජිත් කාදිනල් උතුමාණන් සොයා අපි ගියෙමු. ශුද්ධ වූ දේව වචනයේ අරුත මත සිය අපිස්‌ දිවිය රඳවා ගත් එතුමාණෝ සරල ලෙසින් නත්තල අපට පහදා දුන්නේ මෙසේය.

දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයන් වන ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ, මෙලොවට බිහිවූ අවස්‌ථාව තමයි නත්තල ලෙස අපි සිහි කරන්නේ. මේ සිද්ධිය ගැන කතා කරද්දී, අපේ මතකයට නැඟෙන්නේ කුඩා දරුවකු පිළිබඳවයි. අපි හැමදෙනාම මේ ලෝකයට ඉපදුණේ කුඩා බිළිඳෙකු ලෙසයි. එසේ වුවත් අපි වැඩිහිටියන් වූ විට ඒ ගැන අමතක කරනවා. ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ, දේව මෑණියන් වහන්සේ විසින් ගවලෙනක ඉපදීම තමයි මේ නත්තල සැමරීම සඳහා අපි නිමිති කර ගන්නේ. ඒ නිසා මේ නත්තලේදී අපේ අනිවාර්ය අවධානය අප විසින් අපේ දරු සම්පත පිළිබඳව යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම දේව කැමැත්ත මත බිහිවෙන හැම දරුවෙක්‌ ගැනම අපේ අවධානය යොමු කළ යුතුයි. එදා ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ වෙත ලෝකයේ අවධානය යොමු වී නැහැ. මන්ද, තමන් වහන්සේ බිහිවීමට උන්වහන්සේ තෝරා ගත්තේ ජනාකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. ඉතාමත්ම නිහඬ පරිසරයක්‌. ගවයන් ලගින මඩුවක්‌. ඉතාම සරල අකාරයට තමයි ඒ උපත සිදුවුණේ… එදා බෙත්ලෙහෙම් නුවර සෙනග

රැස්‌වී සිටියත්, සෙනග නොමැති ස්‌වභාවධර්මයට නතු වෙච්ච, පාළු පරිසරයක තමයි උන්වහන්සේ බිහිවන්නේ… ඒ පරිසරය තමයි අපි ගව මඩුව ලෙස හඳුන්වන්නේ. ඒ දෙමවුපියන්ට තම දරුවා බිහිකරගන්න හරිහැටි ස්‌ථානයක්‌වත් තිබුණේ නැති නිසා තමයි ගව මඩුවක්‌ ඒ සඳහා තෝරා ගන්නට වුණේ. මේ අවස්‌ථාවේ දී අපි නත්තල සමරන විට දරුවන් පිළිබඳව මතකයට නඟාගත යුත්තේ එදා බිහිවූ ඡේසු බිළිඳාණන් වහන්සේට ගරු කිරීම උදෙසායි. අපේ නිවසේ වෙසෙන දරුවන් සේම අපේ අසල්වාසී දරුවන් පිළිබඳව, අපේ සමාජයේ ජීවත්වෙන දරුවන් ගැන ද අපි සිහි කළයුතු වෙනවා.

naththalඅද අපි ජීවත්වෙන ලෝකය විවිධාකාරයෙන් දරුවන් නොමඟ යවන ලෝකයක්‌ බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා අපි නත්තල සමරන විට දරුවන්ගේ අයිතිවාසිකම්, ඒ කියන්නේ පිළිසිඳ ගත් මොහොතේ සිට ලෝකයට බිහිවීමේ අයිතිය, බිහිවූවාට පසුව ඒ දරුවාගේ නිදහසට ඇති අයිතිය, සුදුසු අධ්‍යාපනයක්‌ ලැබීමට ඇති අයිතිය, ඒ වගේම දෙමවුපියන්ගේ සහ වැඩිහිටියන්ගේ ආදරය ලැබීමට ඇති අයිතිය, වැනි දරුවන් කෙරෙහි අප සතු වගකීම අප විසින් අත් නොහැර ඉටු කළ යුතු වෙනවා. ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ කුඩා බිළිඳෙකු ලෙස මාංශගත වී මෙලොවට බිහිවූයේ ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරන්නයි. ඒ වගේම සෑම මනුෂ්‍ය ජීවිතයක්‌ පිළිබඳවම අපි එකිනෙකා ආදරයෙන් බැලිය යුතුයි.

සෑම මනුෂ්‍යයකුම වටිනා දේව දායාදයක්‌… දෙවියන් වහන්සේ විසින් සමානව මවන ලද උත්තරීතර පැවැත්මක්‌ ඇති වටිනා මනුෂ්‍ය ජීවිතය පිළිබඳව අපි මේ නත්තලේදී මෙනෙහි කළ යුතු වෙනවා. අද වගේ කාලයක, ධනය සහ බලය සඳහා ඇති තණ්‌හාව තුළ, පෞද්ගලික ගරුත්වය සිඳී යන කාලයක මනුෂ්‍යයකුගේ වටිනාකම, රැඳී තිබෙන්නේ, ඔවුන් සතු දේපළ වස්‌තුව මත නොවෙයි යන්න අපි මතක්‌ කර ගත යුතුයි. ඔවුන්ගේ පැවැත්මේ ගරුත්වය අපි කිසිදු වස්‌තු ධන සම්පතකින් තොරව මනුෂ්‍යත්වය පමණක්‌ සලකා සුරැකිය යුතුයි. සෑම මනුෂ්‍යයකුටම ආදරය ගෞරවය උරුම විය යුතුයි. ඔවුන් සියලුදෙනාම උත්තරීතර තත්ත්වය ලැබිය යුතුයි. ඒ නිසා මේ නත්තල් කාලයේදී දිළිඳු ජනතාව, විවිධ හේතු නිසා අසරණ වී සිටින ජනතාව, මහලු අය වෙත අපේ අවධානය යොමු කළ යුතුයි. නත්තල කියන්නේ ප්‍රීතියේ අවස්‌ථාවක්‌, ඒ ප්‍රීතිය අප බෙදා ගත යුත්තේ මෙවැනි අය සමගයි.

නත්තල කියන්නේ පරිසරය සමඟ බැඳුණු දේව පුවතක්‌… දෙව් බිළිඳාණන් එදා උපන්නේ මහා මන්දිරයක නොවෙයි. සතුන්, ගහ කොළ සහිත පරිසරයක. ඒ නිසා පරිසරයට හානි කරමින් අපට නත්තල් උත්සවය සමරන්නට බැහැ. අද අපේ සමහරු නත්තල සමරන්නේ පරිසරයට හානි කරමින්… නත්තල සඳහා ගස්‌ කපනවා. පොලිතින් සැරසිලි කරනවා. ප්ලාස්‌ටික්‌ වලින් පරිසරය දූෂ්‍ය කරනවා. නත්තල් කාලයේදී පොලිතින් ප්ලාස්‌ටික්‌ අවභාවිතය, පරිසර දූෂණය නොකර මෙය ආධ්‍යාත්මික ප්‍රීතියක්‌ හෙවත් හදවත ඇතුළේ ප්‍රීතියක්‌ ලෙස අප විසින් සැමරිය යුතු වෙනවා.

දිවයින

RSL

Related Posts